Home Science News ප්ලූටෝ සහ ටයිටන් මතින් මෙතෙක් සොයා නොගත් ‘අබිරහස්’ ද්‍රව්‍යයක් සොයාගැනේ

ප්ලූටෝ සහ ටයිටන් මතින් මෙතෙක් සොයා නොගත් ‘අබිරහස්’ ද්‍රව්‍යයක් සොයාගැනේ

by Sathya

ලෝකයේ බලවත් ම අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය වන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) මඟින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අදාළව තවත් සුවිශේෂ සොයාගැනීමක් සිදුකරීමට සමත් ව තිබෙනවා. ඒ අනුව, ප්ලූටෝ වාමන ග්‍රහලෝකයේ සහ සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් මත මෙතෙක් කිසිදු ස්ථානයකින් හඳුනාගෙන නොමැති නවතම රසායනික ද්‍රව්‍යයක් පවතින බවට සාක්ෂි සොයාගැනීමයි.

නවතම අධ්‍යයනයකට අනුව, ප්ලූටෝ සහ ටයිටන් යන ග්‍රහ වස්තු දෙකෙන් ම නිකුත් වන ආලෝක වර්ණාවලිය පරීක්ෂා කිරීමේ දී එක්තරා සුවිශේෂී ආලෝක තරංග ආයාමයක අඩුවක් පවතින බව විද්‍යාඥයින් විසින් හඳුනාගනු ලැබ තිබෙනවා. මේ අසාමාන්‍ය සංඥාව මඟින් පැහැදිලි වී තිබෙන්නේ, අදාළ ආලෝක තරංගය උරාගන්නා, එහෙත් අපට තවමත් හඳුනාගත නො හැකි වූ ‘අද්භූත’ අණුවක් මෙම ග්‍රහ වස්තුන්ගේ වායුගෝලයේ හෝ මතුපිට පවතින බවයි. සුවිශේෂ ම කරුණ වන්නේ මෙම රසායනික සංයෝගය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ හෝ ඉන් ඔබ්බෙහි වෙනත් කිසිදු ස්ථානයකින් මීට පෙර කිසිදිනෙක සොයාගෙන නො තිබීමයි.

මෙම සොයාගැනීම විද්‍යාත්මක ප්‍රජාව තුළ දැඩි කුතුහලයක් ඇති කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. ප්ලූටෝ සහ ටයිටන් යනු සෞරග්‍රහ මණ්ඩලයේ ස්ථාන දෙකක පිහිටි, එකිනෙකට බෙහෙවින් වෙනස් පරිසර තත්ත්වයන් සහිත වස්තූන් දෙකක් වුව ද, මේ දෙකෙහි ම එක ම මෙතෙක් හඳුනා නො ගත් සහ මෙතෙක් අන් කිසිදු ආකාශ වස්තුවක් මතින් හමු වී නොමැති ද්‍රව්‍යයක් පැවතීම අතිශය අනපේක්ෂිත තත්ත්වයක් ලෙස කැපී පෙනෙනවා. එපමණක් නොව, මෙමඟින් සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේ පවතින ග්‍රහලෝක සහ චන්ද්‍රයින් මත සිදුවන සංකීර්ණ රසායනික ක්‍රියාවලීන් මෙන් ම එහි පවතින රසායනික විවිධත්වය පිළිබඳවද නවතම ඉඟියක් ද සැපයෙනු ඇති.

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ඇති අතිශය දියුණු අධෝරක්ත සංවේදී හැකියාවන් නො වන්නට මෙම අණුව කිසි දා සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අභ්‍යවකාශයේ රසායනික සංයුතිය සහ ග්‍රහලෝකවල පරිණාමය පිළිබඳව අපගේ අවබෝධය තවදුරටත් පුළුල් කිරීමටත්, සෞරග්‍රහ මණ්ඩලයේ සැඟවුණු රහස් රැසක් හෙළි කිරීමටත් මෙම අපූරු සොයාගැනීම මඟ පෙන්වනු ඇතැයි විද්‍යාඥයෝ දැඩි සේ විශ්වාස කරනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications