Home Science News ඔස්ට්‍රේලියානු වෙරළට ගොඩගැසූ අද්භූත ලෝහමය ගෝල රොකට් සුන්බුන් බවට සැක කෙරේ

ඔස්ට්‍රේලියානු වෙරළට ගොඩගැසූ අද්භූත ලෝහමය ගෝල රොකට් සුන්බුන් බවට සැක කෙරේ

by Sathya

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ෆොරස්ට් වෙරළ තීරයට ‘අද්භූත ලෝහමය ගෝල’ හයක් ගොඩගසා තිබී හමු වූ අතර, මේවා අභ්‍යවකාශ සුන්බුන් විය හැකි බවට ඔස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සිය (ASA) සැක පළ කරනවා.

ප්‍රමාණයෙන් පැසිපන්දු බෝලයක් මෙන් දෙගුණයක් පමණ වන මෙම ලෝහමය ගෝල, වායු හෝ ද්‍රව ඉන්ධන ඉහළ පීඩනයක් යටතේ ගබඩා කිරීම සඳහා රොකට් යානාවල භාවිත කරන “පීඩන බඳුන්” හෙවත් Pressure Vessels විය හැකි බව මූලික විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමේ දී ඇති වන අධික තාපයට ඔරොත්තු දෙමින් විනාශ නොවී බේරීමට මෙම ශක්තිමත් ලෝහමය ව්‍යුහයන්ට හැකි වී ඇති බව පිළිගත හැකි තාර්කික විග්‍රහයක්.

පැමිණිලි ලද පසු ක්වීන්ස්ලන්ත හදිසි අනතුරු අංශ වහා ම ක්‍රියාත්මක වී මෙම ගෝල පරික්ෂා කර ඇති අතර, ඒවායින් කිසිදු විෂ හෝ විකිරණශීලී අනතුරුදායක ද්‍රව්‍යයක් පිට නො වන බව තහවුරු කර ගැනීමෙන් පසු ආරක්ෂිත ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

දැනට ඔස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සිය ජාත්‍යන්තර අභ්‍යවකාශ බලධාරීන් සහ අනෙකුත් රටවල අභ්‍යවකාශ ආයතන සමඟ එක් ව මෙම සුන්බුන් කුමන රොකට් දියත් කිරීමකට අයත් ද යන්න සහ මෙහි නීතිමය වගකීම දැරිය යුතු රට කුමක් දැ යි සෙවීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පෘථිවි කක්ෂයේ පවතින අභ්‍යවකාශ කසළ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෙම සුන්බුන් පෘථිවියට කඩා වැටී මිනිසෙකුගේ සිරුරේ වැදීමේ සම්භාවිතාව ට්‍රිලියනයකින් එකකට වඩා අඩු වුව ද, විශේෂඥයන් පෙන්වා දෙන්නේ අනාගත අභ්‍යවකාශ යානා සැලසුම් කිරීමේ දී මෙවැනි කොටස් වායුගෝලයේ දී ම සම්පූර්ණයෙන් ම දැවී විනාශ වී යන පරිදි නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මතු ව ඇති බවයි.

මෙම සිදුවීමත් සමඟ පහළ පෘථිවි කක්ෂයේ ආරක්ෂාව සහ අභ්‍යවකාශ මෙහෙයුම්වල තිරසරභාවය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් නැවතත් යම් සංවාදයක් නිර්මාණය වී තිබෙනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications