Science News දුර ඈත මන්දාකිණියක කළු කුහරය හිටි හැටියේ අවදි වෙයි SathyaJune 20, 20240345 views දුර ඈත පිහිටන මන්දාකිණියක් දීප්තිමත් බව හදිසියේ ඉහළ ගොස් ඇති බව තාරකා විද්‍යාඥයන් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ එය මධ්‍යයේ තිබෙන කළුකුහරයේ හදිසි අවදි වීම හේතුවෙන්. කන්‍යා හෙවත් Virgo තාරකා රාශිය පසුබිම් කරගෙන ඇති මේ චක්‍රාවාටය දශක ගණනක් තිස්සේ නිරීක්ෂණයට භාජනය වූවත් ඒ ගැන මතකයේ රැඳෙන අන්දමේ විශේෂ යමක් සොයාගන්නට විද්‍යාඥයන් සමත් වූයේ නැහැ. නමුත් 2019 දී එය වෙනස් වන්නට පටන්ගත්තා. ඒ චක්‍රාවාටය නිකුත් කරන දීප්තිය හිටි හැටියේ ම වැඩි වීමත් සමඟයි. එදා සිට අද දක්වා ම මේ දීප්තිය පවතිනවා. පර්යේෂකයන් දැන් විශ්වාස කරන්නේ තමන් මින් පෙර අත් නො දුටු විපර්යාසයක් නිරීක්ෂණය කරමින් සිටින බවයි. ඒ චක්‍රාවාටය මැද ඇති කළු කුහරය අවට ඇති ද්‍රව්‍ය ගිලගන්නා අතරේ නිකුත් කරන අතිශය දීප්තිමත් ආලෝකයයි. “අපි මේ මූලාශ්‍රය සොයා ගත්තේ දීප්තියේ වෙනස ඇති වන්නට ගත් විටයි.” ජර්මනියේ European Southern නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ ආචාර්ය Paula Sánchez-Sáez සඳහන් කරනවා. “ඒ මෙවැන්නක් තත්‍යකාලීන ව අප දකින ප්‍රථම අවස්ථාවයි.” ආලෝක වර්ෂ මිලියන 300ක් ඈතින් පිහිටන මේ චක්‍රාවාටය SDSS1335+0728 ලෙස කේත නාමකරණයට ලක් ව තිබෙනවා. 2019 දෙසැම්බරයේ දී එහි සිදු වූ අසාමාන්‍ය දීප්ති නැග්ම මුල්වරට නිරීක්ෂණය කරනු ලැබුණේ කැලිෆෝනියාවේ පිහිටි Zwicky Transient Facility නිරීක්ෂණාගාරය විසින්. ඒත් සමඟින් අදාළ ප්‍රදේශය පාදක කරගනිමින් නව නිරීක්ෂණ සිදු වූ අතර මින් පෙර පොළොවේ සිට සහ අභ්‍යවකාශ දුරේක්ෂ මඟින් ලබාගත් සංරක්ෂිත දත්ත ද යළි මේසය මතට ගෙන එනු ලැබුණා. මෑත කාලීන ව සිදු කළ නිරීක්ෂණ මඟින් චක්‍රාවාටයෙන් නිකුත් වන දීප්තිය මධ්‍ය-අධෝරක්ත තරංග ආයාමය ඔස්සේ නම් පෙර මෙන් දෙගුණයක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විද්‍යාඥයන් නිරීක්ෂණය කර තිබෙනවා. The Guardian ඇසුරෙනි. සත්‍ය හෙට්ටිආරච්චි