Home Science News SpaceX පසුපස පියමනින ස්පාඤ්ඤයේ මියුරා

SpaceX පසුපස පියමනින ස්පාඤ්ඤයේ මියුරා

by Sathya

යුරෝපා මහාද්වීපයට අයත් ප්‍රධාන භූමිස්කන්ධයේ සිට මුල් ම වතාවට උපකක්ෂීය රොකට්ටුවක් අභ්‍යවකාශගත කළ පොෟද්ගලික අභ්‍යවකාශ සමාගම වන ස්පාඤ්ඤයේ PLD Space, සිය ඉදිරි වැඩපිළිවෙළ එළිදක්වා තිබෙනවා. ඒ සමාගම විසින් ස්පාඤ්ඤයේ Elcheහි පවත්වන ලද BEYOND නමින් යුතු සම්මන්ත්‍රණයේ දීයි.
එහි දී එළිදැක්වුණු අනාගත සැලසුම් SpaceX සමාගමේ සැලසුම්වලින් පන්නරය ලබා ඇති බව පෙනෙන්නට තිබෙනවා.

දැනට PLD Space සමාගම සතු ව ඇත්තේ එක රොකට් දියත් කිරීමක අත්දැකීම් පමණයි. MIURA 1 නමැති උපකක්ෂීය රොකට්ටුව ඔවුන් විසින් දියත් කෙරුණේ ඉකුත් වසරේ ඔක්තෝබරයේයි. එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 46ක උන්නතාංශයකට ළඟා වුණා. එයට මියුරා යන නම ලබා දී ඇත්තේ ස්පාඤ්ඤයේ ජනප්‍රිය ව පවතින ගව ක්‍රීඩා සඳහා යොදා ගැනෙන ගවයන් වර්ගයකගේ නමින් වීම විශේෂත්වයක්.

කෙසේ නමුත් MIURA 1 අපේක්ෂිත උන්නතාංශය වෙත ළඟා වූයේ නැහැ. PLD Space එවක සඳහන් කළේ එය ඔවුන්ගේ ආරම්භය පමණක් බවයි.

ඔවුන් දැන් බලාපොරොත්තුවෙන් සිටින්නේ 2025 අවසානය වන විට සිය නවතම රොකට්ටුව වන MIURA 5 දියත් කිරීමටයි. ඉකුත් ජූනි මාසයේ SPARK නමින් යුතු වැඩසටහනක් දියත් කළ ඔවුන් MIURA 5 මඟින් අධ්‍යාපනික වැදගත්කමකින් යුතු අයබර නොමිලයේ උඩුගුවනට රැගෙන යන ව්‍යාපෘතියක් නිවේදනය කළා. ඔවුන් මේ වන විට ආයෝජකයන් ඔස්සේ යුරෝ මිලියන 155ක් රැස්කරගෙන තිබෙනවා.

ඉකුත් ඔක්තෝබර් 07 වැනි දා ස්පාඤ්ඤයේ එල්චෙහි පවත්වන ලද BEYOND වැඩසටහනේ දී MIURA 5 රොකට්ටුවෙන් පසු එළි දැක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින අනෙකුත් රොකට්ටු මොනවා දැ යි ඔවුන් නිවේදනය කළා. ඒ අනුව MIURA Next, MIURA Next Heavy සහ MIURA Next Super Heavy ලෙස හැඳින්වෙන මියුරා පරම්පරාවේ මීළඟ රොකට්ටු තුනේ සංකල්පමය රූ සටහන් ද එළිදක්වනු ලැබුණා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications