සයිබීරියාවේ ගුහාවකින් හමුවූ දතක් පරීක්ෂා කිරීමේ දී, නියැන්ඩර්තාල් මානවයන් මීට වසර 59,000කට පෙර දන්ත ප්‍රතිකාර සඳහා පාෂාණ ආධාරයෙන් දත් විදීම සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා. පර්යේෂකයන් සලකන්නේ මෙය ලොව මෙතෙක් හමු වී ඇති පැරණිතම දන්ත ප්‍රතිකාරය පිළිබඳ සාක්ෂිය ලෙසයි.
දකුණු සයිබීරියාවේ චගයිර්ස්කායා (Chagyrskaya) ගුහාවෙන් හමු වූ මෙම දතෙහි ඉතා ගැඹුරු සිදුරක් ඇති බව පර්යේෂකයන්ගේ නිරීක්ෂණයට ලක් ව තිබුණා. සූක්ෂ්ම එක්ස් කිරණ පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත්තේ එම දත දැඩි ලෙස දිරාපත් වී තිබූ බැවින්, එම පුද්ගලයා ජීවත් ව සිටිය දී ම තියුණු සහ සිහින් ගල් මෙවලමක් ආධාරයෙන් මෙම සිදුර සකස් කර ඇති බවයි.
රුසියානු විද්‍යා ඇකඩමියේ පුරාවිද්‍යාඥයන් විසින් සිදු කරන ලද පර්යේෂණවලට අනුව, දේශීය ව හමුවන ජැස්පර් නම් පාෂාණයෙන් තැනූ දිගටි මෙවලමක් ඇඟිලි දෙකෙන් කරකවමින් මෙම සිදුර සාදා තිබෙනවා. නූතන මානව දත් ඇසුරින් කළ අත්හදා බැලීම්වල දී පෙනී ගොස් ඇත්තේ මෙවැනි සිදුරක් විදීමට විනාඩි 35 සිට 50 දක්වා කාලයක් අඛණ්ඩ ව වෙහෙස විය යුතු බවයි.
නිව්කාසල් විශ්වවිද්‍යාලයේ මුඛ වේදනාව පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ජස්ටින් ඩර්හැම් පවසන්නේ, මෙය නූතන මූල නාලිකා ප්‍රතිකාරයක (root canal treatment) මුල් ම අවස්ථාව ලෙස හැඳින්විය හැකි බවයි. දතෙහි ආසාදනයක් ඇති වූ විට ගොඩනැගෙන පීඩනය මුදා හැරීම මඟින් දරාගත නො හැකි වේදනාව සමනය කර ගැනීමට මෙමඟින් හැකියාව ලැබෙනවා.
මෙම සොයාගැනීමත් සමඟ නියැන්ඩර්තාල්වරුන් යනු හුදෙක් ශිෂ්ට නො වන පිරිසක් ය යන මතය බැහැර වන බව ආචාර්ය ක්සෙනියා කොලොබෝවා පවසනවා. ඔවුන් ඉතා දියුණු බුද්ධිමය මට්ටමක් සහ සංකීර්ණ වෛද්‍ය දැනුමක් සහිත මානව කොට්ඨාසයක් බව මෙයින් පැහැදිලි වන බවයි ඇය පෙන්වා දෙන්නේ.
එකල නිර්වින්දන ක්‍රම නො තිබූ බැවින්, මෙම සිදුරු කිරීමේ ක්‍රියාවලිය අතිශය වේදනාකාරී වන්නට ඇති බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. පර්යේෂණයේ සම-කර්තෘ ආචාර්ය ලිඩියා සොට්කිනා පවසන්නේ, තාවකාලික වේදනාව විඳදරාගෙන හෝ රෝගය සුව කර ගැනීමට එම පුද්ගලයා තුළ තිබූ ස්වයං පාලනය සහ ධෛර්යය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. දතෙහි ඇති ගෙවී ගිය රටා අනුව, ප්‍රතිකාරයෙන් පසු ව ද එම පුද්ගලයා සැලකිය යුතු කාලයක් ජීවත් වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මීට පෙර ද නියැන්ඩර්තාල්වරුන් ආබාධිත වූවන් සහ දරුවන් රැකබලා ගත් බවට සාක්ෂි හමු වී තිබූ අතර, මෙම නව සොයා ගැනීම ඔවුන්ගේ දියුණු සමාජීය සහ වෛද්‍ය හැසිරීම් පිළිබඳ තවත් වැදගත් සාක්ෂියක් සපයන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.