නාසා ආයතනය විසින් ලෝහමය ග්‍රාහකයක් වන 16 Psyche ගවේෂණය කිරීම සඳහා යවන ලද සයිකී (Psyche) අභ්‍යවකාශ යානය, පසුගිය මැයි 15 වන සිකුරාදා අඟහරු ග්‍රහයා අසලින් සාර්ථක ව ගමන් කරමින් සිය මෙහෙයුමේ තීරණාත්මක සන්ධිස්ථානයක් පසු කළා. මෙම යානය අඟහරු ග්‍රහයාගේ මතුපිට සිට කිලෝමීටර් 4,500ක් තරම් සමීපයෙන් ගමන් කර ඇති අතර, එම අවස්ථාවේ දී එය පැයට කිලෝමීටර් 19,848ක වේගයකින් ගමන් කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සුවිශේෂී ගමන අඟහරු ග්‍රහයා අධ්‍යයනය කිරීම සඳහා සැලසුම් කළ එකක් නොව, යානයේ වේගය වැඩි කර ගැනීමට සහ එහි ගමන් මග වෙනස් කර ගැනීමට අඟහරුගේ ගුරුත්වාකර්ෂණය යොදාගනිමින් ගුරුත්වාකර්ෂණ ආධාරකයක් ලබා ගැනීම සඳහා සිදු වූවක්.
මෙම ක්‍රමවේදය අභ්‍යවකාශ විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ “අන්තර් ග්‍රහලෝක බිලියඩ්” ක්‍රීඩාවක් ලෙසයි. මෙහි දී යානය අඟහරුගේ ගුරුත්වාකර්ෂණ බලයට හසු වී සිය වේගය වැඩිකර ගනු ලබනවා. අඟහරු සූර්යයා වටා ගමන් කරන ශක්තියෙන් ඉතා සුළු කොටසක් යානය විසින් මෙහි දී ලබා ගන්නා අතර, මෙමඟින් යානයේ වේගය තත්පරයට කිලෝමීටර් 2කින් පමණ වැඩි වී තිබෙනවා. යානයේ එන්ජින් සහ ඉන්ධන පමණක් භාවිත කරමින් මෙම වේගය සහ ගමන් මඟ වෙනස් කර ගැනීමට උත්සාහ කළේ නම්, ඒ සඳහා යානයට රැගෙන යා නොහැකි තරම් විශාල ඉන්ධන ප්‍රමාණයක් සහ අධික පිරිවැයක් දැරීමට සිදුවන බව මූලාශ්‍ර පෙන්වා දෙනවා. එබැවින් මෙම ගුරුත්වාකර්ෂණ ආධාරකය මෙහෙයුමේ සාර්ථකත්වයට අතිශය වැදගත් වනවා.
සයිකී යානයේ අවසාන ගමනාන්තය වන්නේ අඟහරු සහ බ්‍රහස්පති අතර පිහිටි ’16 සයිකී’ නම් සුවිශේෂී ලෝහමය ග්‍රාහකයයි. කිලෝමීටර් 280ක පමණ පළලකින් යුත් මෙම ග්‍රාහකය, අතීතයේ දී විනාශ වී ගිය ග්‍රහලෝකයක ලෝහමය හරය විය හැකි බවට විද්‍යාඥයන් සැක පළ කරනවා. මෙම ග්‍රාහකය අධ්‍යයනය කිරීම මඟින් පෘථිවිය වැනි පාෂාණමය ග්‍රහලෝකවල අභ්‍යන්තරය නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව මිනිසාට මින් පෙර කිසි දා නො ලැබුණු සෘජු නිරීක්ෂණ ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති බවයි ඔවුන් විශ්වාස කරන්නේ.
අතීතයේ දී වොයේජර්, කැසිනි සහ නිව් හොරයිසන්ස් වැනි සුප්‍රකට මෙහෙයුම් සඳහා ද මෙලෙස ගුරුත්වාකර්ෂණ ආධාරක ක්‍රමය සාර්ථක ව යොදාගෙන තිබෙනවා. වර්තමානය වන විට අඟහරුගේ සහාය ලබාගෙන නිවැරැදි ගමන් මඟට අවතීර්ණ වී ඇති සයිකී යානය 2029 ජූලි මාසයේ දී සිය ඉලක්කගත ග්‍රාහකය වෙත ළඟා වීමට නියමිතයි.