Colossal Biosciences සමාගම තස්මේනියානු කොටියාගේ මෙතෙක් නිමවා ඇති පරිපූර්ණතම ජීනෝමය පෙළගස්වයි

තස්මේනියානු කොටියාගේ මෙතෙක් නිමවා ඇති පරිපූර්ණතම ජීනෝමය පෙළගස්වන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. වඳ වී ගිය සත්ත්ව විශේෂය යළි මිහිමත පහල කරවීම ගැන කතිකාවේ නව පරිච්ඡේදයක් ඉන් පෙරළෙන්නට නියමිතයි.

තස්මේනියානු කොටියා ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක මෑත කාලීන ව්‍යාපෘති අතරින් වැඩි ම සාර්ථකත්වයක් අත් කරගෙන ඇති මෙය වඳ වී ගිය සත්ත්ව විශේෂ යළි මිහිමත බිහි කිරීම වෙනුවෙන් ස්ථාපනය කර ඇති Colossal Biosciences සමාගමේ මූලිකත්වයෙන් සිදු වී තිබෙනවා. මේ සඳහා යොදාගෙන ඇත්තේ වසර 110කට පෙර එතනෝල්වල බහා සංරක්ෂණය කරන ලද තස්මේනියානු කොටියෙකුගේ හිසක්. මේ නිදර්ශකය මින් පෙර නො වූ ආකාරයේ සුරක්ෂිතතාවයෙන් යුුතු DNA මෙන් ම RNA පෙළගැස්මකින් යුතු වූයෙන් සත්ත්වයා මිය යන විට ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියේ කුමන ජාන ද යන්න පිළිබඳ ව ද අදහසක් විද්‍යෘඥයන්ට ලබා ගත හැකි ව පවතිනවා.

මේ වන තෙක් බොහෝ විශේෂඥයන් විශ්වාස කළේ සංරක්ෂිත සාම්පල මඟින් යම්කිසි සත්ත්වයෙකුගේ මුළු ජීනෝමය ම ප්‍රතිනිර්මාණය කිරීම සිදු කළ නො හැකි බව යි. මේ පර්යේෂණයේ දී තස්මේනියානු කොටි ජීනෝමය පෙළගැස්වීම සඳහා උපකාර කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ප්‍රෙව්ණි සහ සංවර්ධන ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය Andrew Pask පෙන්වා දෙන්නේ ඔවුන්ට ඒ වැරැදි මතය නිෂ්ප්‍රභ කිරීමට හැකි වූ බවයි. “පැරැණි සාම්පල මඟින් අද්විතීය මට්ටමේ ජීනෝම ප්‍රතිඵලයක් ලබාගත හැකියි.” ඔහු පෙන්වා දෙනවා.

Thylacinus cynocephalus විද්‍යාත්මක නමින් හැඳින්වෙන තස්මේනියානු කොටියා 1936 දී මිහිමතින් තුරන් වී ගියේ මිනිසාගේ මැදිහත් වීම මතයි. මාංශ භක්ෂකයෙකයන් වූ උන් අග්‍ර විලෝපිකයන් ලෙස තස්මේනියානු පරිසර පද්ධතියේ සුවිශේෂ භූමිකාවක් රඟපෑ බව Pask පෙන්වා දෙනවා. ලොවපුරා විවිධ කෞතුකාගාරවල සහ සංරක්ෂණ මධ්‍යස්ථානවල තස්මේනියානු කොටි නිදර්ශක සංරක්ෂණය වී ඇති බැවින් මතු දවසක ඒ විශේෂයේ සතුන් මිහිමත ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳ කතිකාව කලක සිට පැවත එන්නක්.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Related posts

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට

SpaceX කොටස් වෙළෙඳපොළට