Science News ගලවාගැනීමේ මෙහෙයුම්වල සාර්ථකත්වය වැඩි කරන iSAR SathyaDecember 11, 2024086 views දකුණු කොරියානු තාක්ෂණ සමාගමක් විසින් කෘත්‍රිම බුද්ධිය පාදක කරගත්, අතරමං වූවන් ගලවාගැනීමේ පද්ධතියක් නිර්මාණය කරනු ලැබ තිබෙනවා. Solvit System නමැති සමාගමක් විසින් නිපදවනු ලැබ ඇති මෙය හැඳින්වෙන්නේ iSAR ලෙසයි. ඉන් සෙවීම කළ යුතු වපසරිය 96%කින් පටු කර දැක්වෙන බව සඳහන්. Solvit Systemහි ප්‍රධාන විධායක නිලධාරී Kim Yeong-Goo පසුගිය දා සෝල් නුවර වැඩසටහනක දී සඳහන් කළේ මේ පද්ධතියත් සමඟ ගලවාගැනීමේ මෙහෙයුම්වල සඵලතාවය පෙර නො වූ විරූ ලෙස ඉහළ යන බවයි. දුරකථන සන්නිවේදනය නොමැති පිටිසරබද කටුක පරිසරයක් තුළ අතරමං වී සිටින පුද්ගලයන් සොයාගැනීම සඳහා iSAR කෘත්‍රිම බුද්ධිය සහ සංකීර්ණ වූ රේඩියෝ තරංග විශ්ලේෂණය කරනවා. මේ පද්ධතිය දකුණු කොරියාවේ වෙළෙඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යාංශය විසින් ඇගැයීමට ද ලක් කෙරී තිබෙනවා. දකුණු කොරියාවේ Gyeonggi පළාතේ ගිනි නිවන හා ආපදා කලමනාකරණ මූලස්ථානය නියමු ව්‍යාපෘතියක් ලෙස මේ පද්ධතිය භාවිතයට ගන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ සිටයි. ඉන් ලැබෙන කාර්යක්ෂමතාවයේ සාධනීය බව මත ඇමරිකාවට සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත එය නිකුත් කිරීමට සමාගම සූදානම් වනවා. ගලවාගැනීමේ මෙහෙයුම්වල දී ඇතිවන ප්‍රධානතම අභියෝගය වන්නේ සෙවුම් කණ්ඩායම් විසින් කළ යුතු ක්ෂේත්‍ර වර්ගඵලය පුළුල් වීමයි. මෙය ගලවාගැනීමේ මෙහෙයුම්වල සාර්ථක බව කෙරෙහි අහිතකර ලෙස බලපානවා. කෙසේ නමුත් Solvit System සමාගම විසින් පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති මේ නව තාක්ෂණයත් සමඟින් සමස්ත සෙවුම් වපසරිය 25න් 1ක් ලෙස කුඩා කර දක්වනවා. Interesting Engineering ඇසුරෙනි. සෞන්දර්ය සෙනරත්