Home Science News ප්‍රතිපදාර්ථ පළමු වරට ලොරියකින් ප්‍රවාහනය කිරීමේ සැලසුමක්

ප්‍රතිපදාර්ථ පළමු වරට ලොරියකින් ප්‍රවාහනය කිරීමේ සැලසුමක්

by Sathya

CERNහි විද්‍යාඥයන් මින් පෙර සිදු නොවූ ආකාරයේ චාරිකාවක් සංවිධානය කරමින් සිටිනවා. ඔවුන් අදහස් කරගෙන සිටින්නේ ප්‍රතිපදාර්ථ (antimatter) පටවාගත් ලොරි රථයක් යුරෝපය හරහා ධාවනය කිරීමටයි.

ප්‍රතිපදාර්ථ යනු පෘථිවියේ ඇති වැඩි ම වටිනාකමක් සහිත ද්‍රව්‍යය ලෙස සැලකෙනවා. ඉන් ග්‍රෑමයක ප්‍රමාණයක් නිපදවීම සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 62.5 කට ආසන්න වියදමක් වැය වනවා. එය නිපදවීමට හැක්කේ ද ජිනීවාහි පිහිටි CERN පර්යේෂණ මධ්‍යස්ථානය වැනි සීමිත අංශු භෞතික විද්‍යා පර්යේෂණාගාර කිහිපයක පමණයි.

එසේ ම එය සුරක්ෂිත ව තබා ගැනීම ද අතිශය අභියෝගාත්මකයි. යම් හෙයකින් ප්‍රතිපදාර්ථයක්, සාමාන්‍ය පදාර්ථයක් සමඟ ස්පර්ශ වුවහොත්, බලසම්පන්න විද්‍යුත්චුම්භක පිපුරුමක් සිදුකරමින් පදාර්ථ දෙක ම විනාශ වී යනවා. මේ නිසා ප්‍රතිපදාර්ථය සුරක්ෂිත ව ගබඩා කර තැබිය හැක්කේ විශේෂයෙන් සුසර කළ විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍රයක් ඇතිකර ගත හැකි විශේෂිත උපාංගයක් තුළයි.

“මෙනිසා එය එහා මෙහා රැගෙන යාම අතිශය අසීරු කටයුත්තක් වනවා. ඒත් අපි පළමුවැනි වතාවට යන චාරිකාව සිදු වීමට ආසන්නයි.” CERN පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥ මහාචාර්ය Stefan Ulmer පවසනවා. “අපට කීමට හුඟක් දේ ප්‍රතිපදාර්ථ සතු ව තියෙනවා. අපි මේ වැඩේ කරන්නෙත් ඒ නිසයි.”

මේ ප්‍රතිපදාර්ථ ප්‍රවාහනය කිරීම විද්‍යාත්මක ලෝකයේ සිදු වනු ඇත්තේ ප්‍රථම වතාවටයි. කෙසේ නමුත් ප්‍රබන්ධ ලෝකයේ නම් මෙය සිදු කරන්නට Dan Brown නම් ප්‍රතිභාපූර්ණ නවකතාකරුවා සමත් ව තිබුණේ අදින් දශකයක දෙකකටත් පෙරාතුවයි. 2000 වසරේ ඔහු විසින් ලියන ලද Angels & Demons නම් නවකතාවේ එන ත්‍රස්ථ සංවිධානයක්, CERN පර්යේෂණාගාරයෙන් සොරකම් කරන ලද ප්‍රතිපදාර්ථ සහිත කැනිස්ටරයක් යොදාගෙන වතිකානුව විනාශ කර දැමීමේ උත්සාහයක නිරත වනවා. 2009 වසරේ එය සිනමාවටත් නැඟුණා.

විද්‍යාඥයන් පවසන්නේ එවැනි ආකාරයේ පිපිරුමක් යථා ලෝකයේ සිදුවීමට ඇති හැකියාව අවම බවයි. මේ ගමන සඳහා රැගෙන යන ප්‍රතිපදාර්ථ ප්‍රමාණය එවැනි බරපතළ තත්ත්වයක් ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නො වන බව ඔවුන් අවධාරණය කරනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications