Home Science News වසර 11කට පසු නිව් යෝක් ප්‍රාන්තයෙන් මැස්ටඩොන් හනුවක් සොයාගැනේ

වසර 11කට පසු නිව් යෝක් ප්‍රාන්තයෙන් මැස්ටඩොන් හනුවක් සොයාගැනේ

by Sathya

නිව් යෝක් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු සිය ගෙමිදුලේ තණතිල්ලට යටින් වැළලී තිබූ මැස්ටඩොන් සත්ත්වයෙකුගේ සම්පූර්ණ හනුවක් සොයාගෙන තිබෙනවා. ඔහුට මෙය හමු වී ඇත්තේ පොළොවෙන් ඉහළට නිරාවරණය වී තිබූ විශාල දත් දෙකක් දැකීමෙන් පසු සිදු කළ පිරික්සා බැලීමකින්.

මැස්ටඩොනුන් උතුරු ඇමරිකාවේ ඇවිද ගියේ ප්ලයිස්ටොසීන යුගයේයි. නිව් යෝක් ආශ්‍රිත ව තිබී මැස්ටඩොන් ෆොසිල කිහිපක් ම මින් පෙර ද හමු වී තිබෙනවා. ඒ අතර වර්ෂ 2000 දී නිව් යෝකයේ හයිඩ් පාක්හි තිබී හමු වූ වසර 13,000ක් පැරැණි මැස්ටඩොන් ෆොසිලය ද වනවා.

මෑන් හැටන් නගරයට සැතපුම් 70ක් දුරින් පිහිටි ස්කොච්ටවුන් ප්‍රෙද්ශයෙන්, මෙලෙස අහම්බයෙන් සොයාගැනුණු හනුව වැඩුණු සත්ත්වයෙකුට අයත් බවට විශ්වාස කෙරෙන අතර, ගෙහිමියා විසින් කරන ලද දැනුම් දීමකට අනුව එය සුරක්ෂිත ව පිටතට නිරාවරණය කරගන්නට හැකියාව ලැබී තිබුණා.

නිව් යෝක් ප්‍රාන්ත කෞතුකාගාරයේ සහ සනී ඔරේන්ජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අදාළ ස්ථානයට පැමිණීමෙන් පසු හනුව මුළුමනින් ම ගොඩගැනීමට කටයුතු කර තිබුණා. ඒ අසල තිබී මැස්ටඩොන් සත්ත්වයාට ම අයත් යැ යි සැක කළ හැකි ඇඟිලි අස්ථියක් හා ඉළ ඇට අස්ථි කොටසක් ද සොයාගන්නට පර්යේෂකයන් සමත් වුණා.

මෙලෙස නිව් යෝක් ප්‍රාන්තයෙන් මැස්ටඩොන් සතෙකුගේ අස්ථි කොටසක් හමු වී ඇත්තේ වසර 11ක විරාමයකින් අනතුරුවයි. මේ සොයාගැනීමත් සමඟින් නිව් යොක් ප්‍රාන්තයෙන් සොයාගත් මැස්ටෝඩන් ෆොසිල සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනවා. ඉන් තුනෙන් එකක ප්‍රමාණයක් ම හමු වී ඇත්තේ ස්කොච්ටවුන් අයත් ඔරේන්ජ් කවුන්ටියෙන් වීම විශේෂත්වයක්.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications