2032 ග්‍රහක ගැටුමේ අවදානම පහළ බසී

2032 වසරේ පෘථිවිය සමඟ ගැටීමේ යම් සම්භාවිතාවක් පවතින 2024 YR4 ග්‍රහකයේ අවදානම නවතම NASA දත්ත පෙන්වා දෙන පරිදි අඩු වී තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ එය පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවය ඉහළ යමින් පැවති අතර ඉකුත් අඟහරුවාදා (18) එහි මේ දක්වා වාර්තා වූ උච්ඡතම අවස්ථාවට පත් වූයේ පෘථිවියේ ගැටීමට ඇති සම්භාවිතාව 3.1ක් හෙවත් අවස්ථාවන් 32ක දී 1ක් ලෙස සටහන් කරමින්. කෙසේ නමුත් මේ වන විට එම අවදානම හරි අඩකටත් වඩා පහත වැටී තිබෙනවා. එනම් 1.5ක් හෙවත් අවස්ථාවන් 67ක දී 1ක් ලෙසටයි.

ග්‍රහකයේ හැසිරීම ගැන ලබාගන්නා දැනුම අනුව මේ අවදානම් අගය ඉදිරියේ දී නිරන්තරයෙන් ඉහළ පහළ යාමට ඉඩ තිබෙනවා. කෙසේ නමුත් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එහි ගමන්පථය තහවුරු කරගත් පසු පෘථිවියේ ගැටීමට ඇති සම්භාවිතාව 0%න් අවසන් වීමට වැඩි ඉඩක් ඇති බවයි.

මීටර 55ක ඇස්තමේන්තුගත විෂ්කම්භයක් හිමි 2024 YR4 පීසාහි ඇලවෙන කුළුණ මෙන් උසින් යුතු වනවා. යම් හෙයකින් එය පෘථිවිය හා ගැටුණ ද මිනිස් වග මිහිපිටින් තුරන් ව යන තරමේ ගෝලීිය විනාශකාරී තත්ත්වයක් උද්ගත වන්නේ නැහැ. කෙසේ නමුත් විද්‍යාඥයන් දැනට ලද දත්ත අනුව ගණනය කර ඇති පරිදි එය ගැටීමෙන් මෙගාටොන් 8ක ශක්තියක් නිකුත් කරනු ඇති. එය හිරොෂිමාවට වැටුණු පරමාණු බෝම්බයෙන් නිකුත් වූ ශක්තිය මෙන් 500 ගුණයක්.

මේ වන විට යාවත්කාලීන වී ඇති දත්ත අනුව ග්‍රහකය පෘථිවිය වෙනුවට සඳෙහි ගැටීමේ ද අතිශය කුඩා සම්භාවිතාවක් ද ඇතත් වැඩි සම්භාවිතයක් ඇත්තේ මේ දෙකෙහි ම නො ගැටී පසු කර යාමටයි.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට