Science News යුරේනස්ගේ දිනයක් තත්පර 28කින් දික්වෙයි SathyaApril 10, 20250106 views හබල් අභ්‍යවකාශ දුරේක්ෂය යොදාගනිමින් සිදු කළ නිරීක්ෂණවලින් යුරේනස්ගේ එක් භ්‍රමණයක් අවසන් වීමට පැය 17කුත්, මිනිත්තු 14ක් හා තත්පර 52ක් ගත වන බව පෙනීගිය බව විද්‍යාඥයන් වාර්තා කරනවා. එය NASA ආයතනයේ වොයේජර් 2 යානය විසින් 1980 දී ඇස්තමේන්තු කරන ලද යුරේනස් දිනක කාලයට වඩා තත්පර 28ක වැඩි වීමක්. ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පර්යේෂකයන් පිරිසක් විසින් දශක ගණනාවක් තිස්සේ යුරේනස්ගේ වායුගෝලයේ ඇති වන ඌෂාලෝක නිරීක්ෂණ ගණනාවක් අධ්‍යයනය කරමින් එහි චුම්භක ධ්‍රැවයන් ගැන අවධානයෙන් සිටිමින් මෙකී නිරීක්ෂණය සිදුකර තිබුණා. සෞරග්‍රහ මණ්ඩලයේ සත් වැනි ග්‍රහලෝකය වන යුරේනස් සූර්යයා වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට පෘථිවි වසර 84ක් ගත වනවා. “හබල් දුරේක්ෂයේ නිරීක්ෂණ අතිශය වැදගත් භූමිකාවක් ඉටු කළා.” යි අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ පැරිස් නිරීක්ෂණාගාරයේ ලෝරන්ට් ලැමී සඳහන් කරනවා. ලැමී සහ ඔහුගේ ජාත්‍යන්තර පර්යේෂණ සගයන් පෙන්වා දෙන්නේ ඕනෑ ම ග්‍රහලොවක උෂාලෝක සහ චුම්භකගෝලයේ හැසිරීම අධ්‍යයනය කිරීමෙන් එහි භ්‍රමණය ගැන නිෂ්චිත තොරතුරු හෙළිකරගත හැකි බවයි. අධ්‍යයන වාර්තාව ඉකුත් දා Nature Astronomy ජර්නලයේ පළ වී තිබුණා. ඒ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය උඩුගුවන්ගත කර ලබන 24 වැනි දාට වසර 35ක් සම්පූර්ණ වන පසුබිමක වීම විශේෂත්වයක්. Associated Press ඇසුරෙනි. සෞන්දර්ය සෙනරත්