Home Science News වසර තිහක් පැරැණි කලලයකින් උපත ලද ‘ලොව වයස්ගතම’ දරුවා

වසර තිහක් පැරැණි කලලයකින් උපත ලද ‘ලොව වයස්ගතම’ දරුවා

by Sathya

 

ලොව ‘වයසැතිම දරුවා’ ලෙස හැඳින්වෙන තැඩියස් ඩැනියෙල් පියර්ස් ඉකුත් ජුලි 26 දා ඔහායෝහි දී මෙලොව එළිය දුටුවා. ලින්ඩ්සි සහ ටිම් පියර්ස් යුවලට දාව මෙම දරුවා උපන්නේ අදින් වසර 30කට පෙර සුරක්ෂිත කරන ලද කලලයක් උපයෝගී කරගෙනයි. එම කලලයේ සැබෑ මව වන ලින්ඩා ආචර්ඩ් මේ වන විට 62 වියේ පසුවනවා.

1990 ගණන්වල මුල් කාලයේ දී ලින්ඩා සහ ඇගේ එවක සැමියා නල දරු උපතකින් දරුවෙකු ලබාගැනීම සඳහා යොමු ව සිට තිබෙනවා. 1994 දී මෙලෙස ලබාගැනුණු කලල හතරකින් එකක් ලින්ඩා තුළ තැන්පත්කරන ලද අතර මේ වන විට 30 වැනි වියේ පසුවන දියණියක උපත ලැබුවා. එම දියණිය මේ වන විට 10 හැවිරිදි දරුවෙකුට මව වනවා. අනෙකුත් කලල ශීතනය කොට ගබඩාකර තබනු ලැබුණා.

“අපි කිසිදු වාර්තාවක් බිඳීමට සිතුවේ නැහැ,” ලින්ඩ්සි, මේ පුවත මුලින්ම වාර්තා කළ MIT ටෙක්නොලොජි රිවිව් වෙත පැවසුවා, “අපිට ඕන වුණේ ළදරුවෙක් ලබා ගන්න විතරයි.”

IVF සරුකිරීමේ දී සිදුවන්නේ කාන්තාවගෙන් ලබාගන්නා ඩ්ම්බ රසායානාගාරයේ දී ශුක්‍රාණු සමඟ සංසේචනය කර ලබාගන්නා කලල යළි එම කාන්තාවගේ ගර්භාශයේ තැනපත් කර වැඩෙන්නට සැලැස්වීමයි. ඉන් ස්වභාවික ක්‍රමයට දරුවන් බිහිකිරීමට අපහසු යුවල හට දරුවන් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. අවශ්‍ය නම් මෙම කලල විද්‍යාගාරය තුළ ශීතකරණවල බහා අනාගත ප්‍රයෝජනය සඳහා සුරක්ෂිත ව තැන්පත් කර තැබීමට ද හැකියාව තිබෙනවා.

සැමියාගෙන් නීතියෙන් වෙන් වූ පසු මෙම ඉතිරි කලල තුනෙහි භාරකාරිත්වය ලැබුණේ ලින්ඩා ආචර්ඩ්ටයි. යුවල වෙත කලල පරිත්‍යාග කළ හැකි ක්‍රමවේදයක් ද තිබෙන බව දැනගත් ඇයට සුරක්ෂිත ව පවතින සිය කලල ද පරිත්‍යාග කිරීමට පහන් සිතුවිල්ලක් ඇති ව තිබුණා. මෙලෙස එක් කලලයක් ලින්ඩ්සේට සහ ටිම් යුවළට හිමිවන්නේ ඒ අනුවයි.

“ලින්ඩ්සි මට ඔහුගේ ඡායාරූප එවූ විට මා දුටු පළමු දෙය නම්, ඔහු මගේ දියණිය ළදරුවකු වූ විට ඇයට කොතරම් සමානද යන්නයි. මම මගේ ළදරු පින්තූර පොත එළියට ගෙන ඒවා එකින් එක සංසන්දනය කළා. ඔවුන් සහෝදර සහෝදරියන් බවට කිසිදු සැකයක් නැහැ.” ලින්ඩා ආචර්ඩ් පවසනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications