Home Science News රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

by Sathya

විශ්වයේ පවතින කුඩා සහ අඳුරු තරු විශේෂයක් වන රතු වාමන තාරකා (Red dwarf stars), තමන් වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක ගිලදමන බවට ප්‍රථම වරට සාක්ෂි හමු වී ඇති බව තාරකා විද්‍යාඥයන් පවසනවා.

මෙතෙක් කල් විද්‍යාඥයන් අතර පැවති සැකයක් තහවුරු කරමින්, Gaia-ESO වර්ණාවලීක්ෂ සමීක්ෂණයෙන් (GES) ලබාගත් දත්ත මඟින් මෙම තරුවල වායුගෝලයේ අසාමාන්‍ය ලෙස ලිතියම් අඩංගු බව අනාවරණය වී තිබෙනවා. රතු වාමන තාරකාවල අභ්‍යන්තරය ඉතා උණුසුම් බැවින්, ඒවායේ උපතේ දී පවතින ලිතියම් ස්වභාවික න්‍යෂ්ටික ක්‍රියාවලීන් මඟින් ඉතා ඉක්මනින් දැවී විනාශ වී යා යුතු වනවා. එම නිසා, මෙම තරුවල වායුගෝලයේ ලිතියම් පවතින්නේ නම්, එය සිදුවිය හැක්කේ ලිතියම් බහුල ග්‍රහලෝක ගිලදැමීමෙන් පමණක් බව විද්‍යාඥයන්ගේ මතයයි.

එංගලන්තයේ කීල් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම් නායක රොබින් ජෙෆ්රිස් පවසන පරිදි, මෙම තරුවල ලිතියම් දක්නට ලැබීම “හිස් කැන්වසයකට සායම් ඉසීමක් වැනි” කැපී පෙනෙන ලක්ෂණයක් වනවා. තරු පොකුරු තුනක තිබී සොයාගත් මෙවැනි රතු වාමන තරු හයක් විශ්ලේෂණය කළ විද්‍යාඥයන් නිගමනය කර ඇත්තේ, මෙම තරු පෘථිවි ස්කන්ධය මෙන් තුන් ගුණයක සිට දස ගුණයක දක්වා වූ ග්‍රහලෝක පදාර්ථ ප්‍රමාණයක් ගිලදමා ඇති බවයි.

මෙම සොයා ගැනීම ඉතා වැදගත් වන්නේ අපගේ ක්ෂීරපථ මන්දාකිණියේ ඇති තරුවලින් 75%ක් පමණ ම රතු වාමන තාරකා වන බැවිනුයි. මේ අනුව, ග්‍රහලෝක ගිලදැමීමේ මෙම විනාශකාරී ක්‍රියාවලිය විශ්වය පුරා ඉතා බහුල ව සිදුවන්නක් විය හැකි බව පර්යේෂකයන් දැන් විශ්වාස කරනවා.

මෙම අධ්‍යයනය පසුගිය මැයි 28 වන දින Monthly Notices of the Royal Astronomical Society ජර්නලයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙමඟින් ග්‍රහලෝක පද්ධතිවල මුල් අවධිය සහ ඒවායේ පරිණාමය පිළිබඳව නව අවබෝධයක් ලබා ගැනීමට විද්‍යාඥයින්ට අවස්ථාව සැලසෙනු ඇතැ යි විශ්වාස කෙරෙනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications