Home Science News ඉඳහිට මතු වන ‘කළු මරණයේ’ සෙවණැලි

ඉඳහිට මතු වන ‘කළු මරණයේ’ සෙවණැලි

by Sathya

මයික්‍රොමීටර තුනක් තරම් නිනිති ප්‍රමාණයෙන් යුතු Yersinia pestis බැක්ටීරියාව මධ්‍යකාලීන අතීතයේ මිනිස් ජීවිත මිලියන 200ක් බිලිගෙන තිබෙනවා. 1346-1353 අතර කාලයේ යුරෝපයේ පැතිර යමින් මානව වර්ගයාගේ කෙටි ඉතිහාසය තුළ අත්විඳි බිහිසුණු ම සහ උග්‍ර ම වසංගත තත්ත්වය ලෙස හැඳින්වෙන ‘කළු මරණය’ හෙවත් ‘black death’ වසංගත තත්ත්වය නිර්මාණය කළේ මේ බැක්ටීරියාවයි.

ආසාදිත කෘන්තකයන් සහ මැස්සන් අතින් මූලික ලෙස පැතිර යන Y. pestis, මිනිසා විද්‍යාවේ නාමයෙන් එතෙක් නො පෙනුණ ක්ෂද්‍ර ජීවීන්ගේ ලෝකය දැකීමත්, වඩා හොඳ නගර සැලසුම් සහ වඩා හොඳ සනීපාරක්ෂක පුරුදු ඇතිකර ගැනීමත් සමඟ කාලයේ වැලි තලාවේ සැඟව ගියත්, එය මුළුමනින් ම තුරන් කර දැමීමට හැකි වී තිබුණේ නැහැ. ඒ ඉඳහිට මානව වර්ගයාගේ අඳුරුතම පරිච්ඡේදයකින් ඇසෙන දෝංකාරයක් මෙන් හුදෙකලා ආසාදිත සිදුවීම් ඇති වීමට ඉඩහරිමින්.

පසුගිය සතියේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැක්‍රමෙන්ටෝහි එල් ඩොරාඩෝ කවුන්ටියෙන් Y. pestis ආසාදිත පුද්ගලයෙකු තහවුරු කර ගැනුණා. කවුන්ටියේ වැඩබලන මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ බැකිටීරියාව කැලිෆෝනියාවේ බොහෝ තැන්වල ස්වාභාවික ව ම පවතින බවයි. එබැවින් ඇවදීමට, කඳු නැගීමට සහ කඳවුරු බැඳීමට – වි⁣ශේෂයෙන් වන කෘන්තකයන් නිතර ගැවසෙන ප්‍රදේශවලට – යන පුද්ගලයන් සහ සුරතල් සතුන් ඇති කරන්නන් මේ පිළිබඳ අවධානය යොමු කරමින් පූර්වාරක්ෂණ ක්‍රියාමාර්ග ගත යුතු බවයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

රෝගය ආසාදිත බවට තහවුරු කරගැනුණු පුද්ගලයා මේ වන විට සිය නිවසේ දී ම වෛද්‍ය ප්‍රතිකාරවලට බඳුන් වන අතර සුව අතට හැරෙමින් සිටින බව වාර්තා වනවා.

මෑත කාලීන ව කළු මරණ වසංගතය ඇමරිකාවෙන් වාර්තා වීම දුලබ ව පැවතුණු නමුත් අප්‍රිකාවේ පෙදෙස් ගණනක සැලකිය යුතු අන්දමින් වාර්තා වී තිබෙනවා. බැක්ටීරියාව කැලිෆෝනියාවට පැමිණියේ යැයි සැක කෙරන්නේ 1900 ගණන්වලයි.

සාමාන්‍යයෙන් වසරකට මෙම බැක්ටීරියා ආසාදන 1000කට අඩුවෙන් ඇමරිකාවේ තහවුරු කර ගැනෙන බව වාර්තා පෙන්වා දෙනවා. ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් එහි හානිය අවම කිරීම පෙර පරිදි මහා වසංගත තත්ත්වක් ඇති වීම වළක්වනවා.

Popular Mechanics ඇසු⁣රෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications