ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් කෝලා සතුන් වඳ වී යාමේ තර්ජනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ කෝලා සතුන්ගේ ඩිම්බ සහ ශුක්‍රාණු ද්‍රව නයිට්‍රජන් භාවිතයෙන් සෙල්සියස් අංශක -196°C ක අතිශය ශීතල උෂ්ණත්වයක් යටතේ අධි-ශීතකරණයට ලක් කිරීම මෙය සිදුවන බවයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අනාගතයේ දී කෝලා ගහනය මුළුමනින් ම වඳ වී යාම වළක්වා ගැනීම උදෙසා ආරක්ෂිත ජානමය සංචිතයක් හෙවත් ‘ජානමය අතිරේක පිටපතක්’ (Genetic backup) නිර්මාණය කිරීමයි.
මෙලෙස අතිශය සුරක්ෂිත ව ගබඩා කෙරෙන ප්‍රජනක සෛලවල DNA, දශක ගණනාවක් පුරා කිසිදු හානියකින් තොර ව පවත්වා ගත හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. අනාගතයේ දී කෝලා ගහනයට දැඩි තර්ජනයක් එල්ල වූ විට, මෙම සංරක්ෂිත ඩිම්බ සහ ශුක්‍රාණු යොදාගැනීමට පර්යේෂකයන් අපේක්ෂා කරනවා. එහි දී කෘත්‍රිම සිංචනය සහ වීදුරු නළ තුළ සංසේචනය (In Vitro Fertilization – IVF) වැනි නවීන විද්‍යාත්මක තාක්ෂණයන් භාවිත කරමින් නිරෝගී කෝලා කලල නිර්මාණය කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.
විවිධ රෝගාබාධ, දරුණු ලැව්ගිනි සහ දේශගුණික විපර්යාස වැනි ස්වභාවික හා මානව ක්‍රියාකාරකම් හේතුවෙන් කෝලා සතුන් මිය යන විට, වෙනස් වන පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දීම සඳහා ඔවුන්ට උපකාරී වන සුවිශේෂී ලක්ෂණ සහ විවිධත්වයෙන් යුත් ජාන ද සදහට ම ලෝකයෙන් අහිමි වී යාම සිදුවනවා. එබැවින් මෙම අධි-ශීතකරණ ව්‍යාපෘතිය හරහා සිදුවන්නේ හුදෙක් සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට සහාය වීමක් පමණක් නොවෙයි. ඉන් ඔබ්බට යමින්, කෝලා විශේෂයේ අතිශය වැදගත් ජානමය විවිධත්වය අනාගත පරම්පරාවන් වෙනුවෙන් සුරක්ෂිත කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික ම පරමාර්ථය වී ඇති බව පර්යේෂකයන් වැඩිදුරටත් අවධාරණය කරනවා.