Home Science News කිඹුලෙකුගේ අස්ථියක් හණු තුළ රඳවාගත් ඩයිනෝසෝර පොසිලයක් සොයාගැනේ

කිඹුලෙකුගේ අස්ථියක් හණු තුළ රඳවාගත් ඩයිනෝසෝර පොසිලයක් සොයාගැනේ

by Sathya

ශක්තිමත් නිය සහිත නව ඩයිනෝසෝර පොසිලයක් ආජන්ටිනාවෙන් සොයාගැනීමට විද්‍යාඥයන් සමත් වී සිටිනවා. අලුත සොයාගත් ඩයිනෝසෝර විශේෂයකට අයත් මෙම උරගයාගේ විශේෂත්වය වන්නේ ප්‍රාග් ඓතිහාසික කිඹුලෙකුගේ අස්ථියක් උගේ මුවේ තිබිය දී සොයාගැනීමයි.

මේ ඩයිනෝසෝරයා මීටර 7ක් පමණ දිගු වන අතර මෙගාරැප්ටොරන් නමැති වැඩි තොරතුරු මෙතෙක් හඳුනාගෙන නොමැති ඩයිනෝසෝර විශේෂයකට අයත් වනවා. ඔවුන් වර්තමානයේ දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ ආසියාව ආදී භූමි කොටස්වල සැරිසරා ඇති බවට විශ්වාස කෙරනවා.

මෙගාරැප්ටෝරනුන් කැපී පෙනෙන්නේ ඔවුන් සතු දිගු හිස්කබල සම ශක්තිමත් සහ විශාල නිය සහිත පහුරු හේතුවෙන් බව ගවේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන Patagonian Institute of Geology and Paleontologyහි ලුසියෝ ඉබිරිකු සඳහන් කරනවා.

කෙසේ නමුත් මේ සතුන් දඩයම් කළේ කෙසේ ද යන්න සහ පරිණාමික කාල රේඛාවේ ආස්ථානයන් නිශ්චිත ව හඳුනාගන්නට සමත් වී නැහැ. එයට හේතුව වනුවේ මේ දක්වා සොයාගෙන ඇති පොසිල අසම්පූර්ණ තත්ත්වයේ පැවතීමයි.

නව අධ්‍යයනයකින්, පර්යේෂකයන් කියා සිටියේ පැටගෝනියාවේ පිහිටි ලගෝ කොල්හුඒ හුවාපි (Lago Colhué Huapi) පාෂාණ සැකැස්මෙන් හිස්කබලේ කොටසක් මෙන් ම අත, කකුල සහ වලිගයෙහි අස්ථි ද සොයා ගත් බවයි. ඔවුන් එම අස්ථිවල ඇති සුවිශේෂී ලක්ෂණ නිරීක්ෂණය කළ අතර, මෙය නව විශේෂයක් විය හැකි බව ඔවුන්ට අවබෝධ කරගෙන තිබුණා.

මෙම සත්වයා ජීවත් වූයේ මීට වසර මිලියන 66 ත් 70 ත් අතර කාලයක බවට විශ්වාස කෙරෙනවා. ඌ මිය යන විට අවම වශයෙන් වයස අවුරුදු 19ක් වත් වියැති ව සිට ඇති නමුත්, මරණයට හේතුව සොයාගැනීමට හැකියාවක් ලැබී නැහැ.

ඩයිනෝසෝරයාගේ හණුවලට සිර වී තිබූ පාදය අයත් වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ වත්මන් කිඹුලන්ට ඥාතීත්වයක් දරන ආදිතමයන් විශේෂයකටයි. එය ඉදිරිපස පාද අස්ථියක් බව සොයාගෙන තිබෙනවා. මේ ආහාරය මඟින් මෙගාරැප්ටොරන්ලාගේ ආහාර රටාව පිළිබඳ අදහසක් ලබාගත හැකි බවත්, ඇතැම් විට ඔවුන් අදාළ ප්‍රදේශවල අණසක පැතිර වූ බලවත් ම විලෝපිකයෙකු වන්නට ඉඩ තිබෙන බවත් පෙනී යනවා.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications