Home Science News යමහල් විදාරණ ගැන අනාවැකි කීමට අලුත් ක්‍රමවේදයක්

යමහල් විදාරණ ගැන අනාවැකි කීමට අලුත් ක්‍රමවේදයක්

by Sathya

මවුන්ට් එට්නා යටින් ඇති මැග්මා චලනයන් නිරීක්ෂණය කිරීමෙන්, එය යළි විදාරණය විය හැකි කාලය ගැන අනාවැකි කීමට හැකි ක්‍රමවේදයක් විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ තිබෙනවා.

ඉතාලියේ සිසිලියානු දූපතේ පිහිටා ඇති මවුන්ට් එට්නා යනු යුරෝපයේ විශාලතම සක්‍රීය යමහලයි. මිනිසුන් විසින් එහි ක්‍රියාකාරකම් අවසන් වසර 2,700 කාලය තිස්සේ ලේඛනගත කර ඇතත්, යමහලේ පුපුරා යාම්වල ඉතිහාසය වසර 500,000 ක් තරම් ඈතට දිවයනවා.

එට්නා හි මෑත ම විදාරණය වූ 2025 ජූනි මාසයේ දී, යෝධ, කිලෝමීටර් 6.5 ක් උස අළු වලාවක් පිට කළ අතර උණුසුම් ලාවා කොටස් සහ වෙනත් සුන්බුන් හිම කුණාටුවක් බඳු ලෙස පහළට පැමිණීමකට හේතු වුණා. විදාරණය කල් තියා අනුමාන කළ නිසා, බලධාරීන්ට සිද්ධිය වූ දින උදෑසන ම අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට හැකි වුණා. නමුත් මෙවැනි අනාවැකි හැම විට ම නිවැරැදි වන්නේ නැහැ.

මෙම නව ක්‍රමය මගින් මවුන්ට් එට්නා හි විදාරණය වීම් ගැන අනාවැකි කීම පහසු කළ හැකියි. ඉතාලියේ ජාතික භූ භෞතික විද්‍යා හා යමහල් විද්‍යා ආයතනයේ (INGV) පර්යේෂකයන් නව අධ්‍යයනයකින් ‘b අගය’ ලෙස හඳුන්වන පරාමිතියක් විශ්ලේෂණය කර තිබෙනවා. මෙම ‘b අගය’ මඟින් පෘථිවි කබොලෙහි යම් ප්‍රදේශයක ඇති අඩු-ප්‍රබලතා භූමිකම්පන සහ ඉහළ-ප්‍රබලතා භූමිකම්පන අතර අනුපාතය විස්තර කරනවා.

ඔක්තෝබර් 8 වන දින Science Advances ජර්නලයේ පළ කරන ලද අධ්‍යයනයක දී පර්යේෂකයන් වාර්තා කළේ මැග්මා, කබොල හරහා යමහලේ මුදුනට නැඟෙන විට මෙම අනුපාතය වෙනස් විය හැකි බවයි.

“කාලයත් සමඟ ‘b අගය’ හි වන වෙනස්කම් මඟින් යමහල ඇතුළත ඇති පීඩනය (stress) වෙනස් වන ආකාරය පිළිබිඹු කරනවා. මැග්මා ඉහළට පැමිණීම කබොල තුළ පීඩන වෙනස්කම් ඇති කරන බැවින්, ‘b අගය’ නිරීක්ෂණය කිරීම මඟින් ගැඹුරේ සිට මතුපිටට මැග්මා ගමන් කිරීමේ විවිධ අවධීන් හෙළි කිරීමට උපකාරී වනවා.” INGV හි එට්නා නිරීක්ෂණාගාරයේ භූ භෞතික විද්‍යාඥයෙකු වන, අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා ද වන මාර්කෝ ෆයරෙටෝ කාර්ලිනෝ පවසනවා.

‘b අගය’ යනු ගිනිකඳු විද්‍යාවේ පිළිගත් පරාමිතියක් වුවද, පර්යේෂකයන් එය යාවත්කාලීන කරන ලද සංඛ්‍යානමය ආකෘතියක් සමඟින් නව ආකාරයකට පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මවුන්ට් එට්නා වෙතින් වසර 20 ක භූමිකම්පා දත්ත සම්පාදනය කිරීමෙන්, ඔවුන් ‘b අගය’ සහ එට්නා හි ගිනිකඳු ක්‍රියාකාරකම් අතර “ඉතා ප්‍රබල” සම්බන්ධයක් සොයා ගත් බව ෆයරෙටෝ කාර්ලිනෝ සඳහන් කරනවා.

එහි ස්ථරගත මැග්මා පෝෂක කලාප සහ දැනට සතු විශාල භූ කම්පන දත්ත නාමාවලිය හේතුවෙන්, මෙම අධ්‍යයනය සඳහා මවුන්ට් එට්නා ප්‍රශස්ත ස්ථානයක් වූ බව සඳහන්. නමුත් වැදගත් වන්නේ මින් ලබාගත් ප්‍රතිඵල වෙනත් ස්ථානවලට ද අදාළ විය හැකි වීමයි.

“මූලික වශයෙන්, ‘b අගය’ වෙනත් ගිනිකඳු ප්‍රදේශවල මැග්මා චලනයන් නිරීක්ෂණය කිරීමටද භාවිතා කළ හැකියි. ඒ සඳහා ප්‍රමාණවත් තරම් භූමිකම්පා සංඛ්‍යාවක් සිදු වී දත්ත වාර්තා වී තිබිය යුතු අතර, එම ස්ථානගත කිරීම් පෙර භූ විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් හොඳින් තහවුරු කරගත්, විවිධ කබොල අංශ හරහා ව්‍යාප්ත වී තිබිය යුතුයි,” යනුවෙන් ෆයරෙටෝ කාර්ලිනෝ පවසනවා.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications