Home Science News 2029 දී චීනයෙන් සඳට ගෙන යන අප්‍රිකාවේ ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම

2029 දී චීනයෙන් සඳට ගෙන යන අප්‍රිකාවේ ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම

by Sathya

අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රථම අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම 2029 වසරේ දී චීනයේ Chang’e-8 චන්ද්‍ර යානය හරහා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත දියත් කිරීමට නියමිතව තිබෙනවා. Africa2Moon ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම ඓතිහාසික මෙහෙයුම අප්‍රිකානු අභ්‍යවකාශ විද්‍යා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.

මෙම මෙහෙයුම Bounced African Low Lunar Sphere හෙවත් BALLS යන කෙටි නාමයෙන් හැඳින්වෙන අතර, එය ප්‍රධාන වශයෙන් ම තාක්ෂණික නිරූපණයක් ලෙස ක්‍රියාත්මක වනවා. මෙමඟින් ගෝලාකාර පරීක්ෂණ ඒකක තුනකින් සමන්විත රේඩියෝ තාරකා විද්‍යාත්මක පද්ධතියක් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ ස්ථාපිත කෙරෙනවා.

මෙම ලෝහමය ගෝල තුළ අඩු සංඛ්‍යාත රේඩියෝ දුරේක්ෂ ඇන්ටනා අඩංගු වන අතර, විශ්වයේ පැරණිතම සහ දුරස්ථ කලාපවලින් නිකුත් වන සංඥා ගවේෂණය කිරීම ඒවායේ ප්‍රධාන අරමුණයි. පෘථිවි වායුගෝලයේ අයනගෝලය මඟින් ඇතිවන බාධා කිරීම් හේතුවෙන් පෘථිවියේ සිට නිරීක්ෂණය කළ නො හැකි මෙගාහර්ට්ස් 20 ට අඩු සංඛ්‍යාත සහිත රේඩියෝ තරංග නිරීක්ෂණය කිරීම සඳහා සඳෙහි පිටුපස මෙන් ම දක්ෂිණ ධ්‍රැව කලාපය ඉතා ම යෝග්‍ය වනවා.

Africa2Moon ව්‍යාපෘතියේ මෙහෙයුම් අධ්‍යක්ෂවරිය මෙන් ම දකුණු අප්‍රිකානු රේඩියෝ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ (SARAO) කළමනාකාරිනිය වන කාර්ලා මිචෙල් පෙන්වා දෙන්නේ, කිසිදු බාධාවකින් තොර ව විශ්වයේ අතීත සංඥාවලට සවන්දීම සඳහා මෙමඟින් කදිම අවකාශයක් නිර්මාණය වන බවයි.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය පසුගිය 2025 අප්‍රේල් මාසයේ දී චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් ඔවුන්ගේ ජාත්‍යන්තර ගෙවීම් භාරයන් (payloads) යටතේ තෝරාගැනුණා. Foundation for Space Development Africa ආයතනය සහ SARAO හි මූලිකත්වයෙන් දියත් වන මීට කෙන්යාව, ඝානාව සහ බොට්ස්වානා ඇතුළු අප්‍රිකානු රටවල් කිහිපයක ම ආයතන සහාය දක්වනවා.

මෙම මූලික මෙහෙයුම සාර්ථක වීමෙන් අනතුරු ව, අනාගතයේ දී ඇන්ටනා 55කින් සමන්විත පූර්ණ Africa2Moon මෙහෙයුමක් සඳෙහි ස්ථාපිත කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications