Home Science News ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

by Sathya

මීට වසර මිලියන 66කට පෙර ඩයිනෝසරයන්ගේ වඳ ව යාමට හේතුව වෙමින් පෘථිවියේ ගැටුණු යෝධ ග්‍රහකය පිළිබඳ නවතම තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පෙර පැවති මතය වූයේ ග්‍රහක ගැටුමෙන් පසු ඇති වූ දීර්ඝ කාලීන ශීත ඍතුවක් හේතුවෙන් ඩයිනෝසරයන් සාගින්නෙන් මිය ගිය බවයි. එහෙත් නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ එම ග්‍රාහකය පෘථිවියේ ගැටීමත් සමඟ ඇති වූ අධික තාපය සහ ගිනිදැල් හේතුවෙන් පැය කිහිපයක් ඇතුළත දැඩි සමක් සහිත ඩයිනෝසරයන් පවා පිළිස්සී මිය යන්නට ඇති බවයි. මෙම තාපය මිනිස් සිරුරකට දරාගත හැකි උපරිම තාප සීමාව මෙන් 17 ගුණයකින් පමණ වැඩි බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

කිලෝමීටර 10ක් පමණ පළලැති මෙම ග්‍රහකය මෙක්සිකෝවේ යුකටාන් අර්ධද්වීපයට කඩා වැටීමෙන් අතිවිශාල පාෂාණ ප්‍රමාණයක් වාෂ්ප වී ගොස් තිබෙනවා. එම ද්‍රව්‍යවලින් කොටසක් කුඩා ගෝලාකාර අංශු බවට පත් ව පෘථිවි වායුගෝලය පුරා පැතිරී නැවතත් වේගයෙන් පෘථිවියට පතිත වී ඇති අතර, ඒවායේ චාලක ශක්තිය තාපය බවට පරිවර්තනය වී අධික තාප තරංගයක් නිකුත් වී තිබෙනවා. කෙසේ වෙතත් මෑතක දී උතුරු ඩැකෝටාහි ටැනිස් පොසිල භූමියෙන් සොයාගත් සාධක මඟින් තහවුරු වී ඇත්තේ, ග්‍රාහකය ගැටීමෙන් නිර්මාණය වූ සිලිකේට් දූවිලි තට්ටුවක් මඟින් මෙම තාපය අභ්‍යවකාශයට පිටවීම වළක්වා පෘථිවිය දෙසට ම හරවා ඇති බවයි. මෙම දූවිලි තට්ටුව පරිවාරක බ්ලැන්කට්ටුවක් ලෙස ක්‍රියා කරමින් පෘථිවි පෘෂ්ඨයේ තාපය පෙර ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා 3.5 ගුණයකින් පමණ වැඩි කර තිබෙන බවයි නවතම අධ්‍යයනයෙන් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

මෙම අධික තාප විකිරණය හේතුවෙන් තෘණ, ලයිකන සහ පයින් ශාක පත්‍ර වැනි දෑ ක්ෂණිකව ගිනිගෙන දැවී ගොස් ඇති බවත්, එයින් විශාල ලැව්ගිනි ඇතිවන්නට ඇති බවත් සැලකෙනවා. පර්ඩියු විශ්වවිද්‍යාලයේ ග්‍රහ විද්‍යාඥ බ්‍රැන්ඩන් ජොන්සන් ප්‍රකාශ කරන්නේ ග්‍රහකය ගැටී පළමු පැය එක හෝ දෙක ඇතුළත එළිමහනේ සිටි සියලු ම සතුන් මිය යන්නට ඇති බවයි. පොළොව යට හෝ ජලයේ සැඟවී සිටි සතුන්ට පමණක් මෙම මූලික තාප තරංගයෙන් බේරීමට යම් අවස්ථාවක් ලැබෙන්නට ඇති බව ඔහු පෙන්වා දෙනවා. ඉන් අනතුරුව, එම ඝන දූවිලි වලාකුළු මඟින් වසර ගණනාවක් පුරා හිරු එළිය අවහිර කිරීමෙන් ඩයිනෝසරයන්ගේ වඳ වී යාමට හේතු වූ දීර්ඝ කාලීන අඳුරු ශීත ඍතුව නිර්මාණය වී තිබෙනවා.

කෙසේ නමුත් මෙම න්‍යාය තහවුරු කරන ලැව්ගිනි පිළිබඳ සාධක මෙතෙක් හමු වී ඇත්තේ උතුරු ඇමෙරිකානු කලාපයෙන් පමණක් වීම මෙහි පවතින එක් අඩුපාඩුවක් බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පාෂාණධාතු විද්‍යාඥ ඇල්ෆියෝ ඇලෙස්සැන්ඩ්‍රෝ පෙන්වා දෙනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications