Home Science News ඉයර්හාට්ගේ අතුරුදන් වීම ගැන නිකුමාරෝරෝ දූපතෙන් හමු වූ හෝඩුවාව

ඉයර්හාට්ගේ අතුරුදන් වීම ගැන නිකුමාරෝරෝ දූපතෙන් හමු වූ හෝඩුවාව

by Sathya

අමෙරිකානු පුරෝගාමී ගුවන් නියමුවරියක වූ අමේලියා ඉයර්හාට්ගේ අතුරුදන් වීමේ අබිරහස විසඳීම සඳහා නව ගවේෂණයක් නිකුමාරෝරෝ දූපත කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමට විද්‍යාඥයන් පිරිසක් සූදානම් ව සිටිනවා. 1937 වසරේ දී ලෝකය වටා පියාසැරියක නිරත වෙමින් සිටිය දී ඇය සහ ඇගේ සහායකයා වූ ෆ්‍රෙඩ් නූනන් පැසිෆික් සාගරයේ පිහිටි හවුලන්ඩ් දූපත වෙත යන මඟ අතුරුදන් වූ අතර, ඔවුන්ගේ ගුවන් යානය සාගරයට කඩා වැටෙන්නට ඇතැ යි දිගු කලක් තිස්සේ විශ්වාස කෙරුණා. එහෙත් නවතම චන්ද්‍රිකා ඡායාරූප මඟින් හවුලන්ඩ් දූපතට කිලෝමීටර 600ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි නිකුමාරෝරෝ දූපතේ කලපුවක් තුළ සැක සහිත වස්තුවක් නිරීක්ෂණය වී ඇති අතර, එය ඉයර්හාට්ගේ ලොක්හීඩ් ඉලෙක්ට්‍රා ගුවන් යානයේ හැඩයට සහ ප්‍රමාණයට බෙහෙවින් සමාන බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

ටාරයියා ඔබ්ජෙක්ට් (Taraia Object) ලෙස නම් කර ඇති මෙම වස්තුව පළමුවරට නිරීක්ෂණය වී ඇත්තේ මෑතකාලීන චන්ද්‍රිකා ඡායාරූපවලින් වන අතර, දරුණු සුළි කුණාටු තත්ත්වයන් හේතුවෙන් මුහුදු පතුලේ වැලිවලින් වැසී තිබූ ගුවන් යානයේ සුන්බුන් මෙලෙස මතු වී ඇති බවට පර්යේෂකයන් සැක මතු කරනවා. මෙම නව සොයාගැනීමත් සමඟ පර්ඩියු විශ්වවිද්‍යාලයේ සහ පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ ආයතනයේ (ALI) පර්යේෂණ කණ්ඩායමක් විසින් 2025 වසරේ අගභාගයේ දී මෙම දූපත වෙත ගොස් සෘජු ගවේෂණයක් සිදු කිරීමට සැලසුම් කර තබුණත් අදාළ ගවේෂණ බලපත්‍ර ලබාගැනීමේ ප්‍රමාදයන් සහ දකුණු පැසිෆික් කලාපයට බලපාන සුළි කුණාටු සමය හේතුවෙන් එම මෙහෙයුම 2026 වසර දක්වා කල් දැමීමට සිදු ව තිබුණා.

ඉයර්හාට් සහ නූනන් හවුලන්ඩ් දූපත සොයා ගැනීමට අපොහොසත් වීමෙන් පසු ඉන්ධන අවසන් වීම හේතුවෙන් එවකට ගාඩ්නර් දූපත ලෙස හැඳින්වූ මෙම නිකුමාරෝරෝ දූපතට හදිසි ගොඩබෑමක් සිදුකරන්නට ඇති බවට ප්‍රබල මතයක් ද පවතිනවා. අතීතයේ දී ද මෙම ජනාවාසයෙන් තොර දූපතෙන් 1930 දශකයට අයත් කාන්තා සපත්තුවක කොටස්, අස්ථි කැබලි සහ පැරණි උපකරණ කිහිපයක් සොයාගෙන තිබීම මෙම මතය තවදුරටත් තහවුරු කරනවා. 2026 වසරේ දී සිදු කිරීමට නියමිත මෙම අති නවීන තාක්ෂණික ගවේෂණය සාර්ථක වුවහොත්, එය දශක අටකට අධික කාලයක් ලොව පුරා කතාබහට ලක් වූ ගුවන් ඉතිහාසයේ විශාලතම අබිරහසකට ස්ථිර පිළිතුරක් ලබා දෙනු ඇතැ යි පර්යේෂකයන් විශ්වාස කරනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications