Home Science News ඇමරිකාවේ ෆ්ලොරිඩාවට පවා උත්තරාලෝක පෙන්නූ දැවැන්ත භූ චුම්භක කුණාටුව

ඇමරිකාවේ ෆ්ලොරිඩාවට පවා උත්තරාලෝක පෙන්නූ දැවැන්ත භූ චුම්භක කුණාටුව

by Sathya

ඇමරිකාවේ ෆ්ලොරිඩාව තරම් දකුණු දෙසින් පිහිටි ස්ථාන ඇතුළු ව, අනපේක්ෂිත ස්ථානවල අහස නරඹන්නන් මවිතයට පත් කරමින්, රාත්‍රීන් දෙකක් පුරා විස්මිත උත්තරාලෝක තත්ත්වයන් (Nothern Lights) දක්නට ලැබුණා. සූර්යයාගෙන් නිකුත් වූ දැවැන්ත සූර්ය කුණාටු ද්විත්වය එයට හේතුවයි.

​මුලින් පුරෝකථනය කර තිබුණේ ඊයේ සන්ධ්‍යාවේ ද උතුරු ඇමරිකානු තීරයේ දී නැවතත් උත්තරාලෝක දැකීමේ හැකියාව සහිත දරුණු සූර්ය කුණාටු තත්ත්වයක් ඇති විය හැකි බවයි. කෙසේ වෙතත්, ඇමරිකානු ජාතික කාලගුණ සේවයේ අභ්‍යවකාශ කාලගුණ අනාවැකි මධ්‍යස්ථානයේ (National Weather Service’s Space Weather Prediction Center) විද්‍යාඥයන් පසු ව සඳහන් කළේ වඩාත් තීව්‍ර මෙන් ම දර්ශනීය තත්ත්වයන් සඳහා ඉඩ සලසන අවසාන අවස්ථාව බදාදා රාත්‍රිය වන්නට ඇති බවයි.

සූර්යයාගේ ආරෝපිත අංශු වායුගෝලයේ ගැටීමෙන් හටගන්නා ​භූ චුම්භක කුණාටු (geomagnetic storms) මඟින් මෙවැනි උෂාලෝක දර්ශන ඇති කිරීමට අමතර ව, සන්නිවේදනය, විදුලිබල පද්ධතිය සහ චන්ද්‍රිකා මෙහෙයුම් ද කඩාකප්පල් කළ හැකියි. අභ්‍යවකාශ කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය පැවසුවේ පෙරසූදානම් වීම සඳහා එක්සත් ජනපදයේ විදුලිබල පද්ධති සහ චන්ද්‍රිකා ක්‍රියාකරුවන් දැනුවත් කර ඇති බවයි.

​වර්තමාන සූර්ය ක්‍රියාකාරකම් G5, එනම් භූ චුම්භක කුණාටු සටහන් කරගන්නා පරිමාණයේ ඉහළ ම මට්ටමට අයත් විය හැකි බවට බ්‍රිතාන්‍ය භූ විද්‍යා සමීක්ෂණය (British Geological Survey) මුලින් විශ්වාස කළා. එම සමීක්ෂණය අඟහරුවාදා ඇති වූ සිදුවීම සන්නිවේදනය සහ GPS චන්ද්‍රිකා නිරවද්‍යතාවය කඩාකප්පල් කළ කුණාටු තත්ත්වයක් ලෙස හඳුන්වා දෙනු ලැබුණා.

​”සඳුදා දිනයේ පැය කිහිපයක පරතරයක් සහිත ව සිදු වූ, කිරීටක ස්කන්ධ විදාරණයන් (Coronal Mass Ejections) දෙකක් වාර්තා වුණා.” එම සමීක්ෂණයේ භූ චුම්භකතා කණ්ඩායම පැහැදිලි කළා. “පළමු එක දෙවැන්නට වඩා සෙමින් ගමන් කලේ සෙමින්… එම නිසා දෙවැන්න පළමු එක අල්ලා ගත් අතර ඒවා පෘථිවියට ළඟා වන විට එකට එකතු වුණා. එබැවින් දෙවැන්න පළමු එක ‘ගිල දැමූ’ නිසා මෙම කුණාටුව හැදින් වීමේ දී ‘cannibal storm’ යන පදය භාවිත කෙරුණා.”

​කිරීටක ස්කන්ධ විදාරණයන්, හෙවත් CMEs, යනු ප්ලාස්මා ලෙස හැඳින්වෙන අයනීකෘත වායුන් සූර්යයාගේ පිටත වායුගෝලයෙන් පුපුරා යන චුම්බක ක්ෂේත්‍රයන්. මෙම පුපුරා යාම් පෘථිවිය දෙසට යොමු වූ විට, ඒවා පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රධාන කැළඹීම් ඇති කළ හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස භූ චුම්භක කුණාටු ඇති වනවා. මෙවැනි දර්ශනීය උෂාලෝක ඇති වන්නේ එවිටයි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications