Home Science News මෙතෙක් දුටු පැරැණිතම සුපර්නෝවාව

මෙතෙක් දුටු පැරැණිතම සුපර්නෝවාව

by Sathya

මහා පිපුරුමෙන් වසර මිලියන 730කට පසු ව, එනම් අදින් වසර බිලියන 13කට පෙර සිදු වූ, මෙතෙක් දැක ඇති පැරණිතම සුපර්නෝවාවේ ආලෝකය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ග්‍රහණය කර ගෙන තිබෙනවා.

ප්‍රබල ගැමා කිරණ පිපිරීමක් ද සමඟින් ඇති වී ඇති මෙම සුපර්නෝවාව සලකා බැලූ විට හැඟවෙන්නේ දැවැන්ත තාරකාවක් විනාශ වී ඇති බව සහ සමහරවිට තාරකා ස්කන්ධයකින් යුත් කළු කුහරයක් (stellar-mass black hole) බිහි වී ඇති බවයි.

“පසුගිය වසර 50ක කාලය තුළ, විශ්වයේ ප්‍රථම වසර බිලියනය තුළ දී සිදු වූ බවට සැලකිය හැකි ගැමා කිරණ පිපිරීම් සොයාගෙන ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවක් පමණයි” යනුවෙන් නෙදර්ලන්තයේ රැඩ්බවුඩ් විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යාලයේ ඇන්ඩෲ ලෙවන් ප්‍රකාශයක් කරනවා. “මෙම විශේෂ සිදුවීම ඉතා දුර්ලභ මෙන් ම ඉතා උද්යෝගිමත් එකක්.”

මෙම සොයාගැනීමේ කතාව ආරම්භ වන්නේ ඉකුත් මාර්තු 14 වැනි දායි. එදින ප්‍රංශ-චීන සහයෝගීතාවයෙන් උඩුගුවනට යවා ඇති SVOM (Space-based multi-band astronomical Variable Objects Monitor) චන්ද්‍රිකාව ගැඹුරු අවකාශයේ කොතැනක හෝ සිට පැමිණි ගැමා කිරණ පිපිරීමක් අනාවරණය කළා. මිනිත්තු අනූවකට පසු ව, NASAහි Neil Gehrels Swift Observatory නිරීක්ෂණාගාරය එම සිදුවීමම X-කිරණ ඔස්සේ අනාවරණය කළ අතර, එමඟින් තාරකා විද්‍යාඥයින්ට, GRB 250314A ලෙස නම් කරන ලද මෙම ගැමා කිරණ පිපිරීම (GRB) අහසේ කොතැනක සිදු වූවා ද යන්න නිශ්චිත ව ම තීරණය කිරීමට හැකියාව ලැබුණා.

ස්විෆ්ට් මඟින් අනාවරණය කිරීමෙන් පැය එකොළහකට පසු ව, කැනරි දූපත්හි ලා පාම්මාහි පිහිටි මීටර් 2.6ක දුරේක්ෂයක් වන නෝර්ඩික් දෘශ්‍ය දුරේක්ෂය, මිය යන තාරකාවෙන් පිට කරන ලද ද්‍රව්‍යය තාරකාව වටා වූ වායුවට ගැටීමෙන් ඇති වූ, එම ගැමා කිරණ පිපිරීමේ පසු-දීප්තියේ දුර්වල ආලෝකයේ රශ්මිය අනාවරණය කරගැනීමට සමත් වුණා. අවසාන වශයෙන්, ඉන් පැය හතරකට පසු ව, චිලී රාජ්‍යෙය් පිහිටි Very Large Telescope දුරේක්ෂය ද මෙම ක්‍රියාවලියට එක් වූ අතර, එම ගැමා පිපුරුමෙන් පසු දීප්තියේ රතුපරාරෝපණය (redshift) 7.3 ක් බව තහවුරු කළා. මෙයින් අදහස් වන්නේ අප දකින්නේ වසර බිලියන 13 කට පෙර සිදු වූ සිදුවීමක් බවයි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications