අතිශය ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා මාලාවක් වූ Call of Duty හි සම-නිර්මාතෘවරයෙකු වන වින්ස් සැම්පෙලා, කැලිෆෝනියාවේ සිදුවූ රිය අනතුරකින් මියගියා. ඒ පසුගිය ඉරිදා ලොස් ඇන්ජලීස්හි සිදු වූ රිය අනතුරකින්. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 55 ක්.
මෙම කනගායු දායක පුවත, ඔහු විසින් සම-ස්ථාපනය කරන ලද ‘Respawn Entertainment’ ස්ටුඩියෝව අයත් Electronic Arts ආයතනය විසින් තහවුරු කරන ලද්දේ ඊයේ දිනයේයි.
පසුගිය ඉරිදා ඔහු ගමන් කරමින් සිටි ෆෙරාරි රථය ලොස් ඇන්ජලීස්හි අධිවේගී මාර්ගයක දී අනතුරට ලක් වුණා. රථය මාර්ගයෙන් පිටතට පැන කොන්ක්‍රීට් බාධකයක හැපී ගිනිගැනීමට ලක් වූ අතර, බලධාරීන් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ මගී අසුනේ සිටි තැනැත්තා ඉවතට විසි වී ගොස් තිබූ බව සහ රියැදුරු අසුනේ සිටි තැනැත්තා එහි සිර වී සිටි බවයි. අනතුර සිදුවන අවස්ථාවේ රථය පදවාගෙන ගියේ සැම්පෙලා ද යන්න සහ රථයේ සිටි අනෙක් පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් මාධ්‍යයට අනාවරණය වී නැහැ.
”මෙය සිතාගත නොහැකි පාඩුවක්, වින්ස්ගේ පවුලේ අය, ඔහුගේ ආදරණීයයන් සහ ඔහුගේ නිර්මාණ අගය කළ සැවොම වෙනුවෙන් අපගේ කණගාටුව ප්‍රකාශ කරමු,” යැයි Electronic Arts ප්‍රකාශකයෙකු මාධ්‍යයට සඳහන් කර තිබුණා.
සිය දිගු කාලීන මිත්‍රයන් වූ ජේසන් වෙස්ට් සහ ග්‍රාන්ට් කොලියර් සමඟ එක් ව සැම්පෙලා Call of Duty නිර්මාණය කළේ 2003 වසරේයි. දෙවන ලෝක සංග්‍රාමයේ සිදුවීම්වලින් අර්ධ වශයෙන් ආභාසය ලබා ඇති මෙම පරිගණක ක්‍රීඩාවේ, පිටපත් මිලියන 500කට වඩා අලෙවි වී තිබෙනවා. එබැවින් මෙහි හිමිකාරිත්වය දරන මයික්‍රොසොෆ්ට් සමාගමට අයත් Activision සමාගම ලොව වඩාත් ම ලාභ ලබන ක්‍රීඩා සමාගම්වලින් එකක් බවට පත් වුණා. එසේ ම, මේ ඇසුරින් සජීව ක්‍රියාදාම චිත්‍රපටයක් ද ඉදිරියේ දී නිර්මාණය වීමට නියමිත ව තිබෙනවා.
සැම්පෙලාගේ සාර්ථකත්වය Call of Duty සන්නාමයට පමණක් සීමා වූයේ නැහැ. Medal of Honor, Titanfall සහ Apex Legends වැනි තවත් අතිශය ජනප්‍රිය ක්‍රීඩා පිටුපස සිටි ප්‍රධානියා වූයේ ද ඔහුයි.
2010 වසරේ දී, Call of Duty ක්‍රීඩා ප්‍රකාශයට පත් කරන Activision සමාගම විසින් සැම්පෙලා සහ වෙස්ට් යන දෙදෙනාම රැකියාවෙන් ඉවත් කරන ලද අතර, එය එම දෙපළ සහ සමාගම අතර දීර්ඝ කාලීන ආරවුලකට පදනම දැමුවා. 2012 වසරේ දී ඔවුන් උසාවියෙන් බැහැර ව එය සමථයකට පත් කර ගන්නට සමත් වුණා.
Electronic Arts සමාගමේ දී සැම්පෙලා Battlefield 6 ක්‍රීඩාව සඳහා දායක වූ අතර, එය Call of Duty හි සෘජු තරඟකරුවෙකු ලෙස සැලකෙනවා.
Call of Duty නිර්මාණය කළ ඇමරිකානු සමාගම වන Infinity Ward පවසා සිටියේ, සැම්පෙලාට “සෑම විටම අපගේ ඉතිහාසය තුළ සුවිශේෂී ස්ථානයක් හිමිවන” බවයි.
”සුවිශේෂී සහ චිරස්ථායී විනෝදාස්වාදයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඔබ තැබූ සලකුණ මැනිය නො හැකියි,” යනුවෙන් එම සමාගම X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
සෞන්දර්ය සෙනරත්