Home Science News ස්විෆ්ට් දුරේක්ෂය මුදාගැනීමේ මෙහෙයුම අද

ස්විෆ්ට් දුරේක්ෂය මුදාගැනීමේ මෙහෙයුම අද

by Sathya

NASA ආයතනය විසින් පෘථිවි වායුගෝලයට ඇද වැටෙමින් පවතින සිය ‘ස්විෆ්ට්’ (Neil Gehrels Swift Observatory) අභ්‍යවකාශ දුරේක්ෂය බේරා ගැනීම සඳහා වන ඓතිහාසික මෙහෙයුම අද දින දියත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහෙයුම දියත් කිරීම සඳහා ඊයේ දිනය යොදාගෙන තිබුණත් එය අද දිනට කල් දැමුණේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.

2004 වසරේ දී අභ්‍යවකාශගත කරන ලද ස්විෆ්ට් දුරේක්ෂය, විශ්වයේ සිදුවන ප්‍රබලතම පිපිරීම් වන ගැමා-කිරණ විදාරණයන් නිරීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කරන ලද්දක්. එහි මූලික මෙහෙයුම් කාලය වසර දෙකක් ලෙස සැලකුව ද, මේ වන විට දශක දෙකකට ආසන්න කාලයක් පුරා විශිෂ්ට සේවාවක් ඉටු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෑතක දී සූර්යයාගේ ක්‍රියාකාරීත්වය ඉහළ යාම හේතුවෙන් පෘථිවි වායුගෝලයේ ඉහළ ස්ථරය ප්‍රසාරණය වීම නිසා දුරේක්ෂය මත ඇති වන වායුගෝලීය ඝර්ෂණය ඉහළ ගොස් ඇති අතර, මුලින් කිලෝමීටර 600ක පමණ උන්නතාංශයක පැවති දුරේක්ෂය මේ වන විට කිලෝමීටර 360ක් පමණ දක්වා පහළට පැමිණ තිබෙනවා. දුරේක්ෂය සතු ව සිය කක්ෂය වෙනස් කිරීම සඳහා අවශ්‍ය තෙරපුම් යන්ත්‍ර නොමැති බැවින්, බාහිර මැදිහත්වීමකින් තොර ව එය පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී යාමෙන් බේරාගෙන යළි යථා කක්ෂය වෙත ගෙනයාමට මඟක් නැහැ.

මෙම අර්බුදකාරී තත්ත්වයෙන් දුරේක්ෂය මුදා ගැනීම සඳහා, NASA ආයතනය විසින් ඇමරිකාවේ Katalyst Space Technologies නැමති ආයතනය සමඟ එක් ව LINK නමින් හැඳින්වෙන රොබෝ අභ්‍යවකාශ යානයක් නිර්මාණය කළා. ඇමරිකානු ඩොලර් මිලියන 30ක් පමණ වැය වන මෙම මෙහෙයුම යටතේ, Northrop Grumman සමාගමේ පෙගසස් XL රොකට්ටුවක් මඟින් LINK යානය අභ්‍යවකාශයට මුදා හැරීමට නියමිතයි.

පෙගසස් රොකට්ටුව සාමාන්‍ය ආකාරයට පොළොවේ සිට සිරස් ව නොව, මාෂල් දූපත්වලට ඉහළින් පියාසර කරන Stargazer ගුවන් යානයක් මඟින් අභ්‍යවකාශයට දියත් කිරීම සිදු වන අතර, මෙය පෙගසස් රොකට්ටුවක අවසන් ගමන ලෙස ද ඉතිහාසයට එක්වනු ඇත.

අභ්‍යවකාශගත වීමෙන් පසු ව LINK යානය සති කිහිපයක ඇවෑමෙන් ස්විෆ්ට් දුරේක්ෂය වෙත ළඟා වනු ඇති අතර, යානයේ ඇති රොබෝ අත් තුනක් මඟින් දුරේක්ෂය ග්‍රහණය කරගෙන, මාස දෙකක පමණ කාලයක් පුරා එය නැවතත් කිලෝමීටර 600ක ආරක්ෂිත කක්ෂයක් දක්වා තල්ලු කිරීම සිදු වනු ඇති. දුරේක්ෂයේ විද්‍යාත්මක උපකරණවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එහි විද්‍යාත්මක නිරීක්ෂණ කටයුතු පසුගිය පෙබරවාරි මාසයේ සිට තාවකාලික ව නවතා දමා තිබෙනවා.

මෙය අතිශයින් සංකීර්ණ මෙහෙයුමක් වන්නේ ස්විෆ්ට් දුරේක්ෂය කිසි දා වෙනත් යානයක් මඟින් ග්‍රහණය කරගැනීමට හෝ අලුත්වැඩියා කිරීමට හැකි අයුරින් නිර්මාණය කර නොමැති බැවිනුයි. මෙය ඇමරිකානු වාණිජ රොබෝ යානයක් මඟින් අභ්‍යවකාශයේ දී චන්ද්‍රිකාවක් ග්‍රහණය කරගන්නා පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වනවා.

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, අතිශය වැදගත් ස්විෆ්ට් දුරේක්ෂයේ ආයු කාලය 2030 දශකය දක්වා දීර්ඝ වනු ඇති අතර, අනාගතයේ දී හබල් වැනි අනෙකුත් පැරැණි අභ්‍යවකාශ දුරේක්ෂයන් සඳහා ද මෙවැනි ම සේවා සැපයීමට හා ඒවායේ ආයු කාලය දීර්ඝ කිරීමට නව මාවතක් විවෘත වනු ඇති බවට බලාපොරොත්තු තබාගත හැකියි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications