SpaceX චන්ද්‍ර මෙහෙයුම්වලට ප්‍රමුඛත්වය දෙයි

SpaceX සමාගම අඟහරු වෙත යාම සඳහා වන සැලසුම් වසර කිහිපයකට පසෙක තබා චන්ද්‍රයා මත වාසස්ථාන ඉදිකිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බව එහි හිමිකරු වන ඊලෝන් මස්ක් සඳහන් කරනවා.

ඔහු ඉකුත් දා තමාට ම හිමිකාරිත්වය ඇති X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ තිරසර චන්ද්‍ර නගරයක් ඉදිකිරීම වසර දහයකට අඩු කලකින් සිදු කිරීමට හැකි බවයි. “නො දැනුවත් ව සිටි අයගේ දැනුවත්වීම පිණිසයි. දැනටමත් SpaceXහි අවධානය චන්ද්‍රයා මත නගරයක් ඉදිකිරීම වෙනුවෙන් වෙනස් වෙලයි තියෙන්නේ. ඒ අරමුණ වසර 10කට අඩු කලකින් සැබෑ කරගැනීමට හැකියාව තියෙනවා. අඟහරු මත නගරයක් ඉදිකිරීම තවත් වසර 20කට අධික කාලයක් ගත වන වැඩක්” ඔහු පළ කළ X පණිවුඩයේ සඳහන්.

ඔහු වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ SpaceX හි මෙහෙයුම වන මිනිස් වග තාරකා වෙත ගෙන යාම තවදුරටත් නො වෙනස් ව පවතින බවයි. අඟහරු වෙත ගමන් කළ හැක්කේ සෑම මාස 26 කට වරක් ග්‍රහලෝක පෙළගැසෙන විට පමණක් වන බවත්, සෑම දින 10 කට වරක් සඳ වෙත මෙහෙයුම් දියත් කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. “මෙයින් අදහස් කරන්නේ අඟහරු නගරයකට වඩා චන්ද්‍ර නගරයක් සම්පූර්ණ කිරීම සඳහා අපට ඉතා වේගයෙන් පියවර ගත හැකි බවයි.” මස්ක් පවසනවා.

සෞන්දර්ය සෙනරත්

Related posts

මන්ද තල්මසුන්ගේ සන්නිවේදනය මිනිස් භාෂාවට බෙහෙවින් සමාන බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

ලොව පැරණිතම බූවල්ලා පිළිබඳ මතය වෙනස් වෙයි

සඳ වටා ගිය ගගනගාමීන් ගෙදර එන හැටි