මන්ද තල්මසුන්ගේ සන්නිවේදනය මිනිස් භාෂාවට බෙහෙවින් සමාන බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

මන්ද තල්මහ (Sperm whales) විසින් සිදු කරනු ලබන සන්නිවේදන රටාවන් මිනිස් භාෂාවට බෙහෙවින් සමාන ව්‍යුහයකින් යුක්ත බව නවතම විද්‍යාත්මක අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. මීට වසර මිලියන 90කට පෙර මිනිසා ද නෑකම් කියන පොදු පූර්වජයෙකුගෙන් වෙන් වී පරිණාමය වූ මෙම දැවැන්ත සත්ත්ව විශේෂය, මිනිස් භාෂාවල දක්නට ලැබෙන ‘අකාරාදිය’ සහ ‘ස්වර’ වැනි සංකීර්ණ ශබ්ද රටා භාවිත කරන බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

මන්ද තල්මසුන් සන්නිවේදනය සඳහා ‘කෝඩා’ (codas) ලෙස හැඳින්වෙන කෙටි ශබ්ද මාලාවක් භාවිත කරයි. මෙම කෙටි ශබ්ද හැඳින්වෙන්නේ ‘ක්ලික්’ යනුවෙනුයි. මෙම ශබ්දවල දිග ප්‍රමාණය සහ ඒවායේ ස්වර පරාසය වෙනස් කිරීම මඟින් ඔවුන් විවිධ අර්ථයන් ජනනය කරන බව සොයාගෙන්නට පර්යේෂකයන් සමත් වී තිබෙනවා. මෙම රටාව මැන්ඩරින්, ලතින් සහ ස්ලොවේනියානු වැනි මිනිස් භාෂාවල ව්‍යාකරණ සහ ශබ්ද විද්‍යාත්මක ලක්ෂණවලට බෙහෙවින් සමාන බව පර්යේෂණ පත්‍රිකාව පෙන්වා දෙනවා.

ඩොමිනිකා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ වෙසෙන තල්මසුන් පිළිබඳව අධ්‍යයනය කරන Project CETI (Cetacean Translation Initiative) ආයතනය විසින් මෙම සොයාගැනීම සිදු කර ඇති අතර, කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් මෙම තල්මසුන්ගේ භාෂාව තේරුම් ගැනීමට විද්‍යාඥයින් උත්සාහ කරමින් සිටිනවා.

Project CETI හි නිර්මාතෘ ඩේවිඩ් ගෲබර් පවසන්නේ, මිනිසුන් වන අප සන්නිවේදනය සහ සංස්කෘතික ජීවිතයක් හිමි එක ම සත්ත්ව විශේෂය නො වන බව වටහා ගැනීමට මෙය කදිම අවස්ථාවක් බවයි. “මෙම තල්මසුන් වසර මිලියන 20කට වැඩි කාලයක සිට පරම්පරාවෙන් පරම්පරාවට තොරතුරු හුවමාරු කර ගනිමින් සිටිනවා” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාඥ ගැස්පර් බෙගුෂ් පෙන්වා දෙන්නේ මන්ද තල්මසුන් සහ මිනිසුන් අතර ජීවන රටාවේ පවා පුදුම සහගත සමානකම් පවතින බවයි. ඔවුන්ට ද මිත්තණියන් සිටින බවත්, පැටවුන් බලා ගැනීමට එකිනෙකාට උදව් කරන බවත්, උපත් ලබා දීමේ දී සාමූහික ව සහයෝගය දක්වන බවත් ඔහු පෙන්වා දෙනවා.

විද්‍යාඥයන්ගේ අනාගත ඉලක්කය වන්නේ ඉදිරි වසර පහ තුළ මෙම තල්මසුන්ගේ සන්නිවේදන ප්‍රකාශන අවම වශයෙන් 20%ක් වත් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමයි. තල්මසුන් පවසන දේ මුළූමනින් ම වටහා ගැනීම හෝ ඔවුන් සමඟ සන්නිවේදනය කිරීම තවමත් දුරස්ථ ඉලක්කයක් වුව ද, එය කළ නො හැක්කක් නො වන බව ඩේවිඩ් ගෲබර් විශ්වාසය පළ කරනවා. මෙමඟින් අනාගතයේ දී මිනිසුන් සහ තල්මසුන් අතර සෘජු සන්නිවේදනයක් ඇති කර ගැනීමට වුව ද මඟ පෑදෙනු ඇති.

Related posts

ලොව පැරණිතම බූවල්ලා පිළිබඳ මතය වෙනස් වෙයි

සඳ වටා ගිය ගගනගාමීන් ගෙදර එන හැටි

විශ්වයේ දැවැන්ත කළු කුහර සාගින්නේ