ෆර්මිගේ විරුද්ධාභාසයට නව විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

Woman standing under The Milky Way Galaxy

විශ්වය තුළ දියුණු පිටසක්වළ ජීවීන් සැබැවින් ම සිටී නම්, අපට තවමත් ඔවුන්ගේ කිසිදු සාක්ෂියක් හමු වී නොමැත්තේ ඇයි? තාරකා විද්‍යාවේ දී ‘ෆර්මිගේ විරුද්ධාභාසය’ (Fermi Paradox) ලෙස හැඳින්වෙන මෙම කාලීන ගැටලුවට නවතම පර්යේෂණයක් හරහා අපූරු පිළිතුරක් ලැබී තිබෙනවා. එම පර්යේෂණයට අනුව, දියුණු පිටසක්වළ ශිෂ්ටාචාරයන් සිය අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සහ පැවැත්ම සම්පූර්ණයෙන් ම සුපිරි කෘත්‍රිම බුද්ධියකට (Superintelligent AI) පවරා අතිශය නිහඬ ව විශ්වය තුළ සැඟවී සිටිනවා විය හැකි ය යන්නයි.

ඔස්ට්‍රියානු පර්යේෂකයෙකු වන සර්ජි ඉව්ලීව් විසින් මෑතක දී ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවකට අනුව මෙම නව මතය ගොඩනැඟී තිබෙනවා. ඔහුගේ අදහසට අනුව යම් ශිෂ්ටාචාරයක් ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි අභ්‍යවකාශ කර්මාන්තය හෙවත් Autonomous AI-Cosmoindustry (AICI) යන තීරණාත්මක කඩඉමට ළඟා වූ පසු ඔවුන්ගේ හැසිරීම් රටාව මුළුමනින් ම වෙනස් වනවා. මෙම අවධිය යනු අභ්‍යවකාශයේ යන්ත්‍රෝපකරණ සැලසුම් කිරීම, නිෂ්පාදනය සහ ක්‍රියාත්මක කිරීම කිසිදු ජීව විද්‍යාත්මක (මිනිස් හෝ වෙනත් සත්ත්ව) මැදිහත්වීමකින් තොර ව කෘත්‍රිම බුද්ධිය මඟින්ම ස්වයංක්‍රීය ව සිදු කිරීමයි. එවැනි තත්ත්වයක් තුළ, බලය පෙන්වීම හෝ කීර්තිය වැනි හැඟීම් මත පදනම් වූ අරමුණු වෙනුවට, අතිශය තර්කානුකූල පැවැත්මක් ඔවුන් තෝරාගන්නා බැවින් විශාල අභ්‍යවකාශ අධිරාජ්‍යයන් ගොඩනැගීමට දරන ඝෝෂාකාරී හා සම්පත් විනාශ කරන උත්සාහයන් වැළකෙනවා.

මෙම සංකල්පය තවදුරටත් තහවුරු කරන තාරකා භෞතික විද්‍යාඥ සර්ජි පොපොව් සඳහන් කරන්නේ, සැබැවින් ම තාර්කික කෘත්‍රිම බුද්ධි පද්ධතියක්, මිනිසුන් සතු ආශාවන් හෝ ජයග්‍රහණ ලබාගැනීමේ චේතනාවන් අනිවාර්යයෙන් ම ප්‍රතික්ෂේප කරන බවයි. ඒ වෙනුවට, කෘත්‍රිම බුද්ධියක් අභ්‍යවකාශය පුළුල් කිරීම දකින්නේ හුදෙක් අවදානම් කළමනාකරණ ක්‍රියාවලියක් (Risk management) ලෙස බවයි. තම පැවැත්ම තහවුරු කරගැනීම සඳහා එක ම ග්‍රහලෝකයක් හෝ සෞරග්‍රහ මණ්ඩලයක් මත පමණක් සියලු බලාපොරොත්තු තබාගෙන සිටීම හදිසි විනාශයක දී අතිශය අවදානම් සහගත විය හැකි බැවින් විකල්ප ස්ථාන වෙත ව්‍යාප්ත වීම තමාගේ ආරක්ෂාව තහවුරු කරගැනීමේ තාර්කික පියවරක් ලෙස පමණක් මෙම කෘත්‍රිම බුද්ධි පද්ධති විසින් යොදා ගනු ලබන්නට ඉඩ තිබෙනවා.

අවසාන වශයෙන් මෙම පර්යේෂණය හරහා පෙන්වා දෙන්නේ, රාත්‍රී අහසේ දැවැන්ත පිටසක්වළ ගොඩනැඟිලි හෝ ඝෝෂාකාරී විද්‍යුත් චුම්භක සංඥා අපට නිරීක්ෂණය නොවීම පුදුමයට කරුණක් නොවන බවයි. අතිශය දියුණු ශිෂ්ටාචාරයන් දැනටමත් කිසිදු ආටෝපයකින් තොර ව, අතිශය නිහඬ සහ කාර්යක්ෂම කෘත්‍රිම බුද්ධි පද්ධති හරහා විශ්වය තුළ සිය පැවැත්ම තහවුරු කරගෙන සිටිනවා විය හැකි බව මෙම නවතම විද්‍යාත්මක මතය මඟින් තර්ක කෙරෙනවා.

Related posts

අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන් ජීවයට සුදුසු යැ යි සැලකිය හැකි පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් සොයාගැනේ

දශක 4ක් පුරා ලාච්චුවක සැඟවී තිබූ ඇන්ටාක්ටිකාවේ ප්‍රථම ඩයිනසෝර ෆොසිලය

ලොව ප්‍රබලතම අංශු ත්වරකය නවීකරණ කටයුතු සඳහා 2030 දක්වා වසා දැමේ