න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම වාණිජ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරේ

ලොව ප්‍රථම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන වාණිජ අංශයේ චන්ද්‍රිකාව සාර්ථක ලෙස පෘථිවි කක්ෂයට රැගෙන යාමට SpaceX සමත් වුණා. කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ බලකා කඳවුරේ සිට Falcon 9 රොකට්ටුවක් මගින් ‘Transporter-17’ මෙහෙයුම යටතේ පසුගිය දා මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරුණා.

BOHR (Betavoltaic Orbital High-Reliability) ලෙස නම් කර ඇති මෙම කුඩා ප්‍රමාණයේ කියුබ්සැට් චන්ද්‍රිකාව නිපදවා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි පිහිටි City Labs නම් සමාගම විසින්. මෙම චන්ද්‍රිකාවේ සුවිශේෂ ම අංගය වන්නේ එහි අඩංගු NanoTritium නම් කුඩා න්‍යෂ්ටික බැටරියයි. ට්‍රිටියම් නමැති විකිරණශීලී මූලද්‍රව්‍යයේ ක්ෂය වීමෙන් නිකුත් වන ශක්තිය අර්ධ සන්නායකයක් හරහා සෘජු ව ම විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීම මෙමඟින් සිදුකෙරෙනවා.

සාමාන්‍යයෙන් චන්ද්‍රිකා බලගැන්වීම සඳහා සූර්ය කෝෂ භාවිත කළ ද, සූර්යාලෝකය නො ලැබෙන ගැඹුරු අභ්‍යවකාශයේ දී සහ සඳෙහි අඳුරු කලාප වැනි ස්ථානවල දී ඒවා අකාර්යක්ෂම වනවා. කෙසේ වෙතත්, මෙම නව න්‍යෂ්ටික බැටරි තාක්ෂණය මඟින් සූර්යාලෝකය නොමැති ව වුව ද අඛණ්ඩ ව විද්‍යුත් බලය සැපයීමට හැකියාව ලැබෙනවා. වර්තමානයේ මෙම චන්ද්‍රිකාවේ ප්‍රධාන මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සූර්ය බලයෙන් ක්‍රියාත්මක වුව ද, නව න්‍යෂ්ටික බැටරිය මඟින් එහි ඇති විශේෂිත උපකරණ බලගන්වමින් අනාගත තාක්ෂණික දියුණුව සඳහා වන අත්හදා බැලීම් සිදුකිරීමට නියමිතයි.

City Labs සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පීටර් කබෝයි ප්‍රකාශ කරන්නේ මෙය අභ්‍යවකාශයේ වාණිජ න්‍යෂ්ටික බලය භාවිතය පිළිබඳ ඓතිහාසික පියවරක් වන බවයි. එසේ ම, මෙම මෙහෙයුම ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් න්‍යෂ්ටික පද්ධති අභ්‍යවකාශගත කිරීම සඳහා අනුමත කරන ලද ප්‍රථම වාණිජ මෙහෙයුම වීම ද විශේෂත්වයක්. මෙම අත්හදා බැලීමේ සාර්ථකත්වය අනාගතයේ දී ජාතික ආරක්ෂාව මෙන් ම පෞද්ගලික අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම් සඳහා ද න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන අභ්‍යවකාශ යානා බහුල ව භාවිත කිරීමට මාවත විවර කරනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා.

Related posts

ෆර්මිගේ විරුද්ධාභාසයට නව විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන් ජීවයට සුදුසු යැ යි සැලකිය හැකි පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් සොයාගැනේ

දශක 4ක් පුරා ලාච්චුවක සැඟවී තිබූ ඇන්ටාක්ටිකාවේ ප්‍රථම ඩයිනසෝර ෆොසිලය