Science News 2026 භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රකාශයට පත් කෙරේ SathyaOctober 6, 202607 views 2026 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අමෙරිකාවේ විස්කොන්සින්-මැඩිසන් විශ්වවිද්‍යාලයේ ෆ්‍රැන්සිස් හාල්සන් (Francis Halzen) වෙත පිරිනැමීමට ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය තීරණය කර තිබෙනවා. ‘අයිස්කියුබ් නියුට්‍රිනෝ නිරීක්ෂණාගාරය’ (IceCube Neutrino Observatory) සඳහා ඔහු දැක්වූ අතිවිශිෂ්ට දායකත්වය සහ තාරකා භෞතික විද්‍යාත්මක සම්භවයක් සහිත අධි-ශක්ති නියුට්‍රිනෝ (high-energy neutrinos) සොයාගැනීම වෙනුවෙන් මෙම ගෞරවනීය සම්මානය ඔහුට හිමි වනවා. දක්ෂිණ ධ්‍රැවයේ ඇති අයිස් භාවිතයෙන් ‘නියුට්‍රිනෝ’ නම් අංශු ලුහුබැඳිය හැකි බව ප්‍රථම වරට හඳුනා ගන්නා ලද්දේ ෆ්‍රැන්සිස් හාල්සන් විසින්. ඝන කිලෝමීටරයක් පුරා විහිදුණු අයිස් තට්ටුවක ආලෝක සංවේදක සවිකරමින් නිර්මාණය කර ඇති අයිස්කියුබ් නියුට්‍රිනෝ නිරීක්ෂණාගාරය ගොඩනැගීම සඳහා ඔහුගේ මෙම දැක්ම සහ විද්‍යාත්මක නායකත්වය මූලික වුණා. නියුට්‍රිනෝ අංශු සෑම තැනක ම පවතින නමුත් ඒවා අපගේ ශරීර හෝ පෘථිවිය හරහා කිසිදු බලපෑමකින් තොරව ගමන් කරනවා. කෙසේ වෙතත්, ඉතා කලාතුරකින් මෙම නියුට්‍රිනෝ අංශුවක් පරමාණුක න්‍යෂ්ටියක් සමඟ ප්‍රතික්‍රියා කරන අතර, එවිට නිකුත් වන ආලෝකය දක්ෂිණ ධ්‍රැවයේ පැහැදිලි අයිස් තුළ ඇති සංවේදක මගින් ග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. හාල්සන් සිය සංකල්පය මුලින් ම ඉදිරිපත් කළේ 1988 වසරේ දී වන අතර, 2011 වසරේ දී අයිස්කියුබ් නිරීක්ෂණාගාරයේ වැඩ නිම කෙරුණා. අභ්‍යවකාශයේ ඈත කෙළවරේ සිදුවන අධි-ශක්ති ක්‍රියාවලීන් මඟින් මෙම නියුට්‍රිනෝ නිර්මාණය වන අතර, ඒවා දිශාව වෙනස් වීමකින් හෝ ශක්තිය අඩුවීමකින් තොරව පෘථිවිය වෙත පැමිණෙනවා. මේ හරහා විශ්වය පිළිබඳව වෙනත් කිසිදු ආකාරයකින් ලබාගත නොහැකි සුවිශේෂී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට දැන් පර්යේෂකයන්ට අවස්ථාව ලැබී තිබෙනවා. භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් කමිටුවේ සභාපති මාර්ක් පියර්ස් පවසන්නේ, ෆ්‍රැන්සිස් හල්සන් ජාත්‍යන්තර පර්යේෂකයන් සහ ඉංජිනේරුවන් කණ්ඩායමකට නායකත්වය දෙමින් මෙම අපූරු උපකරණය නිර්මාණය කිරීම මඟින් තාරකා විද්‍යාවට නවමු මාවතක් විවර කිරීමට සමත් වූ බවයි. 1944 වසරේ බෙල්ජියමේ උපත ලැබූ ෆ්‍රැන්සිස් හාල්සන් හට මෙම නොබෙල් ත්‍යාගයත් සමඟ ස්වීඩන් ක්‍රෝනර් මිලියන 12ක ත්‍යාග මුදලක් හිමි වනු ඇති.