මේ පින්තූරයෙ ඉන්නෙ, Mbiresaurus raathi. එයා තමයි මේ දක්වා අප්‍රිකා මහාද්වීපයෙන් සොයාගත් පැරණිතම ඩයිනොසෝරයා වන්නේ.
එයාගෙ සොයාගැනීම පිළිබඳව තොරතුරු ඊයේ, අගෝස්තු 31 බදාදා දින Nature ජර්නලයේ වාර්තාවක සවිස්තරව පළකර තිබෙනවා.
සම්පූර්ණ ඇටසැකිල්ලකට ආසන්න තරම් එයාගෙ ෆොසිලයක් පළමු වරට සොයාගෙන තිබෙන්නෙ සිම්බාබ්වේ රාජ්‍යයෙන්.
2017 වසරෙ දි උතුරු සිම්බාබ්වේවලට අයත් Pebbly Arkos Formation නමැති කැනීම් ප්‍රදේශයෙන් ආරම්භ කළ සුපරීක්ෂාකාරී කැනීම් ක්‍රියාවලිය පස් වසරකට පසු ජයග්‍රහණය ලබන්නේ, Mbiresaurus raathi ෆොසිලය අනාවරණය කර ගැනීමෙන්.
මේ ඩයිනොසෝර් ෆොසිලය වසර මිලියන 230ක් පැරණි බව ඉහත පර්යේෂණ වාර්තාවේ දැක්වෙනවා.
එයා සොයාගත් ප්‍රදේශය කලකට ඉහත පාලනය කළ ” Mbire ” නම් Shona රාජ වංශයේ නමින් එයාගෙ ගණයේ නම ද, මෙම ප්‍රදේශයේ මුල් ම ෆොසිල සොයා ගැනීමට උදව් කළ Michael Raath ට ගෞරවයක් ලෙස එයාගෙ විශේෂ නාමය ද ලබා දී තිබෙනවා.
එයා ප්‍රමාණයෙන් අඩි 6ක් එනම් මීටර් 2ක දිගක් සහ උකුළ දක්වා අඩි 1.5ක එනම් මීටර් 0.5ක උසක් තිබූ ඩයිනොසෝරයෙක්.
” මුල් ම ඩයිනොසෝරයෙන් අපි සාමාන්‍යයෙන් හිතනවා වාගෙ යෝධයින් නොවෙයි. ඔවුන් කුඩා සතුන්. “
මෙම පර්යේෂණයට සහභාගී නො වූ උතුරු කැරොලිනාවල ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ පාෂාණිධාතු විද්‍යාව පිළිබඳ පර්යේෂිකා Christian Kammerer එසේ පවසා තිබුණේ Live Science වෙබ් අඩවියටයි.
අදින් වසර මිලියන 252කට ඉහත සිට වසර මිලියන 201කට ඉහත කාලය දක්වා පැවති ත්‍රියාසික යුගයේ පසු අවධියේ දි වර්තමාන සිම්බාබ්වේ බවට පරිවර්තනය වුණු ප්‍රදේශයේ පැරණිතම නදියක ඉවුරු දිගේ තමයි Mbiresaurus raathi ජීවත් වෙලා තිබෙන්නේ.
එකල එම ප්‍රදේශය ඩයිනොසෝරයන්ටත් වඩා වෙනත් බොහෝ සතුන්ගෙන් සපිරි සාරවත් පරිසර පද්ධතියක් වූ බව ඉහත පර්යේෂණ වාර්තාවේ පළමු කතුවරයා වන එක්සත් ජනපදයේ යේල් සරසවියේ පෘෂ්ඨවංශී පාෂාණිධාතු විද්‍යාඥ, ක්‍රිස්ටෝපර් ග්‍රිෆින් Live Science වෙබ් අඩවියට ඊයේ ප්‍රකාශ කර තිබෙනවා.
මෙම කැනීම් ක්‍රියාවලියෙන් Cynodont නමින් හඳුන්වන ප්‍රාග් ක්ෂීරපායී සතුන් රැසක්, ආරක්ෂක වැස්මක් සහිත ක්‍රොකඩිලියාවන් , හොටක් ඇති Rhynchosaur නමැති උරගයන් පමණක් නොව මුල් ම මාංශ භක්ෂක ඩයිනොසෝරයෙකු පිළිබඳ ෆොසිල සාක්ෂි ද අනාවරණය කර තිබෙනවා.
ත්‍රියාසික අවධියේ දී මිහිතලයේ සියළු මහාද්වීප ඒකාබද්ධ වී සෑදුණු තනි ගොඩබිමක් වුණු පැංජියාව නම් සුපිරි මහාද්වීපයක් ලෙසයි පැවතුණේ.
ඒ නිසා ම එදා පොදු ශාක හා සත්ව සංහතියකට තෝතැන්නක් වුණු දකුණු ඇමරිකාව සහ අප්‍රිකාව අද සාගරයෙන් වෙන් වී පවතිනවා.
ඔබ පැංජියාවට අයත් ව තිබූ උතුරු ආජෙන්ටිනාව සහ දකුණු බ්‍රසීලය යා කරමින් රේඛාවක් ඇන්ද විට එය උතුරු සිම්බාබ්වේ වෙත ද එල්ල වන බව ක්‍රිස්ටෝපර් ග්‍රිෆින් පවසනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකි අපූර්ව සමානතාවක් වන්නෙ බ්‍රසීලයෙන් සොයායාගත් බල්ලෙකුගේ ප්‍රමාණයේ Saturnalia සහ Eoraptor නම් පසු ත්‍රියාසික අවධියේ විසූ Sauropodomorph කාණ්ඩයට ම Mbiresaurus raathi ද අයත් වීමයි.
Live Science වෙබ් අඩවිය ඇසුරිනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි.