යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (ESA) සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) ඒකාබද්ධව දියත් කළ BepiColombo අභ්‍යවකාශ මෙහෙයුම බුධ ග්‍රහයා වටා කක්ෂයට අවතීර්ණ වී තිබේ. වසර අටකට ආසන්න දීර්ඝ ගමනකින් පසු සිදු වූ මෙම සාර්ථක කක්ෂගත වීමත් සමඟ, NASA ආයතනයේ MESSENGER මෙහෙයුමෙන් පසුව බුධ ග්‍රහයා වටා කක්ෂගත වූ දෙවන අභ්‍යවකාශ යානය ලෙස BepiColombo ඉතිහාසයට එක් විය.
බුධ ග්‍රහයා වෙත ළඟා වීම සඳහා BepiColombo අභ්‍යවකාශ යානයට අනුගමනය කිරීමට සිදු වූයේ අතිශය සංකීර්ණ ගමන් මාර්ගකි. 2018 ඔක්තෝබර් 20 වැනිදා ප්‍රංශ ගයනාවේ පිහිටි යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් Ariane 5 රොකට්ටුවක් මඟින් දියත් කළ මෙම යානය, සෘජුවම බුධ වෙත ගමන් කිරීම වෙනුවට ගුරුත්වාකර්ෂණ ආධාරක ක්‍රමවේදය (Gravity Assist) භාවිත කරමින් සිය ගමන් වේගය සහ දිශාව වෙනස් කරගත්තේ ය. එහි දී පෘථිවිය වටා එක් වරක්, සිකුරු වටා දෙවරක් සහ බුධ ග්‍රහයා වටා කිහිපවරක් ළඟින් ගමන් කරමින්, අවසානයේ බුධගේ කක්ෂයට ඇතුළු වීමට අවශ්‍ය වේගය ලබාගැනීමට යානය කටයුතු කළේ ය.
බුධ ග්‍රහයා සූර්යයාට ඉතා ආසන්නව පිහිටීම නිසා එහි කක්ෂයට යානයක් ඇතුළු කිරීම අතිශය අභියෝගාත්මක කාර්යයක් වෙයි. සූර්යයාගේ ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලපෑම හේතුවෙන් අභ්‍යවකාශ යානය ඉතා වේගයෙන් ඇදී යන බැවින්, බුධ අසල දී එහි වේගය ප්‍රමාණවත් ලෙස අඩු කරගත යුතු ය. එසේ නො වුණහොත් බුධ ග්‍රහයා පසුකර සූර්යයා වටා වෙනත් කක්ෂයකට ඇදී යා හැකි ය. මේ නිසා ගුරුත්වාකර්ෂණ ආධාරක මෙහෙයුම් සහ නිවැරැදි කක්ෂ පාලනය BepiColombo මෙහෙයුමේ ඉතා වැදගත් කොටසක් විය.
BepiColombo මෙහෙයුම සුවිශේෂී වන්නේ එය විද්‍යාත්මක අභ්‍යවකාශ යානා දෙකක් රැගෙන යන මෙහෙයුමක් වීම නිසා ය. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය විසින් නිපදවන ලද Mercury Planetary Orbiter (MPO) යානය බුධගේ මතුපිට, භූවිද්‍යාව, අභ්‍යන්තර ව්‍යුහය සහ සංයුතිය අධ්‍යයනය කිරීමට නියමිත අතර, ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය විසින් නිපදවන Mercury Magnetospheric Orbiter (Mio/MMO) යානය බුධගේ චුම්බක ක්ෂේත්රය, එය වටා ඇති අභ්‍යවකාශ පරිසරය සහ සූර්ය සුළඟ සමඟ ඇති අන්තර්ක්‍රියා අධ්‍යයනය කරනු ඇත. දැනට මෙම යානා දෙක එකිනෙකට සම්බන්ධ වී පවතින අතර, ඉදිරි කාලයේ දී ඒවා වෙන් ව තමන්ට නියමිත කක්ෂවලට ඇතුළු වී ස්වාධීනව විද්‍යාත්මක නිරීක්ෂණ සිදු කිරීමට නියමිත ය.
BepiColombo මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ හිරුට සමීපස්ථ ම ග්‍රහයා වන බුධ පිළිබඳ මෙතෙක් පිළිතුරු නො ලැබුණු විද්‍යාත්මක ගැටලු රැසක් විසඳීමයි. බුධ ග්‍රහයාගේ අභ්‍යන්තරයේ විශාල ලෝහමය හරයක් පිහිටා ඇත්තේ ඇයි ද යන්න සහ එතරම් කුඩා ග්‍රහයකුට පෘථිවියට සමාන චුම්බක ක්ෂේත්රයක් ඇති වීමට හේතුව කුමක් ද යන්න ඒ අතර ප්‍රධාන වේ. එසේ ම එහි මතුපිට භූවිද්‍යාත්මක ලක්ෂණ නිර්මාණය වූ ආකාරය, අතිශය තුනී වායුගෝලය හෙවත් exosphere සෑදෙන ආකාරය සහ ධ්‍රැවීය ප්‍රදේශවල සදාකාලික සෙවණැලි සහිත ආවාට තුළ ජල අයිස් පවතින්නේද යන්න පිළිබඳවත් විමර්ශනය කිරීමට නියමිත ය.
මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා යානා දෙකේ ඇති විද්‍යාත්මක උපකරණ මඟින් බුධගේ මතුපිට සංයුතිය, ඛනිජ, චුම්බක ක්ෂේත්රය, අභ්‍යන්තර ව්‍යුහය, භූවිද්‍යාත්මක ඉතිහාසය සහ සූර්ය සුළඟ සමඟ ඇති අන්තර්ක්‍රියා පිළිබඳ දත්ත රැස්කරනු ඇත. යානා දෙක විවිධ කක්ෂවල සිට එකවර නිරීක්ෂණ සිදු කිරීම හේතුවෙන්, බුධගේ චුම්බක පරිසරය සහ එහි මතුපිට පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ලබාගැනීමට විද්‍යාඥයන්ට හැකි වනු ඇත.
යානා දෙක වෙන්වීමෙන් පසු ඒවා තමන්ට නියමිත කක්ෂවලට ඇතුළු කිරීම සඳහා තවදුරටත් කක්ෂ වෙනස් කිරීමේ මෙහෙයුම් සිදු කිරීමට නියමිත ය. එම ක්‍රියාවලිය 2027 මුල් කාලය දක්වා පැවතීමට අපේක්ෂා කරන අතර, නිල විද්‍යාත්මක නිරීක්ෂණ මෙහෙයුම් 2027 අප්‍රේල් මාසයේ දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එතැන් සිට යානා දෙක බුධ ග්‍රහයා පිළිබඳ දීර්ඝකාලීන දත්ත රැස්කරමින්, එහි පරිසරය හා පරිණාමය පිළිබඳ මෙතෙක් නොදන්නා කරුණු අනාවරණය කරගැනීමට දායක වනු ඇත.
වසර ගණනාවක් පුරා බුධ ග්‍රහයා වෙත ගමන් කරමින්, ගුරුත්වාකර්ෂණ ආධාරක මෙහෙයුම් සහ තාක්ෂණික අභියෝග ජයගත් BepiColombo දැන් සිය සැබෑ විද්‍යාත්මක මෙහෙයුමට මුල් පියවර තබා තිබේ. බුධ යනු සෞරග්‍රහ මණ්ඩලයේ අවම වශයෙන් ගවේෂණය කර ඇති ග්‍රහයන් අතරින් එකක් වන බැවින්, මෙම මෙහෙයුමෙන් ලැබෙන දත්ත එහි පරිණාමය පමණක් නොව, සමස්ත සෞරග්‍රහ මණ්ඩලය බිහි වූ ආකාරය සහ එහි අභ්‍යන්තර ග්‍රහයන් නිර්මාණය වූ ආකාරය පිළිබඳ අපගේ අවබෝධය ද පුළුල් කිරීමට දායක වනු ඇත.