Home Science News AI ඝාතක අවි ගැන රතු කුරුසයෙන් රතු එළියක්

AI ඝාතක අවි ගැන රතු කුරුසයෙන් රතු එළියක්

by Sathya

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය භාවිතයෙන් මිනිස් මැදිහත්වීමකින් තොරව ඉලක්ක හඳුනාගෙන ප්‍රහාර එල්ල කළ හැකි ස්වයංක්‍රීය අවි පද්ධති නියාමනය කිරීම සඳහා ජාත්‍යන්තර නීති කඩිනමින් හඳුන්වා දිය යුතු බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) අනතුරු අඟවයි. එම අවි පද්ධතිවල තාක්ෂණික දියුණුව ඒවා නියාමනය කිරීම සඳහා ගෙන යන ජාත්‍යන්තර ප්‍රයත්නයන්ට වඩා වේගයෙන් සිදුවන බැවින් තවදුරටත් ප්‍රමාද වුවහොත් ඒවා පාලනය කිරීම අතිශය දුෂ්කර වනු ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ඇතැම් සාම්ප්‍රදායික අවි පිළිබඳ සම්මුතිය හෙවත් Convention on Certain Conventional Weapons යටතේ පැවැත්වූ සතියක කාලයක් පුරා පැවති සාකච්ඡා අවසන් වීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ. ජිනීවාහි පැවති මෙම සමුළුව සඳහා රටවල් 120කට අධික සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගී වී තිබුණ ද ස්වයංක්‍රීය අවි නියාමනය කිරීම සඳහා නීත්‍යනුකූලව බැඳී පවතින ජාත්‍යන්තර ගිවිසුමක් සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡා ආරම්භ කිරීමට එකඟතාවක් ඇති කර ගැනීමට ඔවුහු අසමත් වූහ. ඒ වෙනුවට ඉදිරි වසර දෙකක කාලය තුළ එවැනි නියාමන ක්‍රමවේදයක් පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට පමණක් එකඟ වී තිබේ.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ජාත්‍යන්තර නීති, සබඳතා සහ හවුල්කාරිත්ව අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය කෝර්ඩුලා ඩ්‍රෝගේ පෙන්වා දෙන්නේ කෘත්‍රිම බුද්ධිය යුද බිම්වල භාවිතයට ගැනීම දැනටමත් ආරම්භ වී ඇති බැවින් ඒවා නියාමනය නොකළහොත් අනාගතයේදී එම තත්ත්වය පාලනය කිරීම වඩාත් අපහසු වනු ඇති බවයි. සියලුම ස්වයංක්‍රීය අවි තහනම් කිරීම මෙහි අරමුණ නොවන බවත්, කිසිසේත්ම ඉක්මවා නොයා යුතු සීමාවන් ජාත්‍යන්තර ගිවිසුමක් මඟින් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත් ඇය අවධාරණය කරයි.

ස්වයංක්‍රීය අවි පද්ධති යනු මිනිස් ක්‍රියාකරුගේ අඛණ්ඩ අධීක්ෂණයකින් හෝ සෘජු මැදිහත්වීමකින් තොරව සංවේදක, මෘදුකාංග සහ කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතම භාවිතයෙන් ඉලක්ක හඳුනාගෙන ඒවාට ප්‍රහාර එල්ල කළ හැකි යුද උපකරණ ය. මේවා ප්‍රහාරාත්මක මෙන්ම ආරක්ෂක කටයුතු සඳහා ද සංවර්ධනය කෙරෙමින් පවතී. විශේෂයෙන්ම රුසියානු-යුක්රේන යුද්ධයේදී භාවිත වන ඇතැම් ඩ්‍රෝන යානා ඉලක්කය වෙත ළඟා වන අවසන් අදියරේදී මිනිස් පාලනයෙන් මිදී කෘත්‍රිම බුද්ධිය මඟින් ක්‍රියාත්මක වීම මෙයට උදාහරණයකි.

ගාසා තීරයේ යුද මෙහෙයුම්වල දී ඊශ්‍රායල හමුදාව ඉලක්ක හඳුනා ගැනීම සහ ඒවා ලැයිස්තුගත කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය ආධාර කරගත් ක්‍රමවේද භාවිත කර ඇති බව ද වාර්තා වේ. එම ක්‍රමවේද මඟින් මිනිස් ක්‍රියාකරුවන්ට කළ හැකි වේගයට වඩා වැඩි වේගයකින් ප්‍රහාරක ඉලක්ක හඳුනාගත හැකි වුවද, වැරදි ලෙස ඉලක්ක හඳුනා ගැනීම හේතුවෙන් සිවිල් වැසියන්ට හානි සිදුවීම පිළිබඳව මානව හිමිකම් සංවිධාන අවධානය යොමු කර තිබේ.

යුක්රේනයේ සැපොරීෂියා ප්‍රදේශයේ දී කෘත්‍රිම බුද්ධිය මඟින් මෙහෙයවූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් සිවිල් වැසියන් තිදෙනකු මියගිය සිදුවීමක් ද වාර්තා වී තිබේ. එම ඩ්‍රෝනයේ ඉලක්කය ඉන්ධන පිරවුම්හලක් විය හැකි නමුත් එය ඒ වෙනුවට තාප්පයක ගැටීමෙන් ඇති වූ පිපිරීම සහ සුන්බුන් හේතුවෙන් මෙම මරණ සිදුව තිබේ. එමෙන්ම ඉරානයේ පාසලකට එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාරයකින් පාසල් සිසුන් 120 දෙනකු ඇතුළු සිවිල් වැසියන් 156 දෙනකු මියගිය සිදුවීම ද කෘත්‍රිම බුද්ධි පද්ධති මඟින් රැස් කළ වැරදි බුද්ධි තොරතුරු සමඟ සම්බන්ධ වී ඇති බවට වාර්තා පළ වී තිබේ.

අනාගතයේදී ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා සිය ගණනක් හෝ දහස් ගණනක් එකවර ක්‍රියාත්මක වන Drone Swarms තාක්ෂණය ව්‍යාප්ත වීම තවත් බරපතළ අවදානමක් බව විශේෂඥයෝ පෙන්වා දෙති. එවැනි පද්ධතියක එක් ඩ්‍රෝන යානයක ඇල්ගොරිතමයක ඇතිවන දෝෂයක් හේතුවෙන් සමස්ත ඩ්‍රෝන රංචුවම වැරදි තීරණයකට යොමු විය හැකි අතර, එමඟින් විශාල පිරිසකට හානි සිදුවීමේ අවදානමක් පවතී.

මේ අතර, රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් අතරට ද කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත අවි තාක්ෂණය ව්‍යාප්ත වීම පිළිබඳව අවධානය යොමුව තිබේ. යේමනයේ හූති සංවිධානය බැලස්ටික් මිසයිල සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා Claude කෘත්‍රිම බුද්ධි මෙවලම භාවිත කර ඇති බවට ද වාර්තා පළ වී තිබේ. එමෙන්ම අප්‍රිකාවේ සහෙල් කලාපයේ ක්‍රියාත්මක සන්නද්ධ ඉස්ලාමීය කණ්ඩායම් ඩ්‍රෝන යානා සම්බන්ධ තාක්ෂණික හැකියාවන් සහ මෙහෙයුම් සැලසුම් වැඩිදියුණු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිත කර ඇති බව ද සඳහන් වේ.

ස්වයංක්‍රීය අවි භාවිතය සම්බන්ධයෙන් නීතිමය සීමාවන් ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සභාපතිනි මිර්ජානා ස්පොල්ජාරික් එගර් ද මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර තිබේ. මිනිසුන් ඉලක්ක කර මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමේ තීරණ යන්ත්‍ර වෙත පැවරීම තහනම් කළ යුතු බවත්, අනෙකුත් ස්වයංක්‍රීය අවි පද්ධති භාවිතය සඳහා පැහැදිලි සීමාවන් සහ මානව පාලනයක් අනිවාර්ය කළ යුතු බවත් ඔවුහු අවධාරණය කරති.

වසර 13කට අධික කාලයක් තිස්සේ සාකච්ඡා පැවතිය ද මේ දක්වා ප්‍රමාණවත් ජාත්‍යන්තර එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වී තිබේ. එබැවින් ස්වයංක්‍රීය අවි පද්ධති තවදුරටත් ව්‍යාප්ත වීමට පෙර ඒවායේ භාවිතය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් නීතිමය සීමාවන් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බව මානව හිමිකම් සහ මානුෂීය සංවිධාන අවධාරණය කරයි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications