චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වූ පළමු විදේශීය ගගනගාමියා බවට පත්වෙමින් පාකිස්තාන ජාතික මුහම්මද් සීෂාන් අලි ඉතිහාසයට එක් වී තිබේ.
2026 නොවැම්බර් 25 වැනිදා චීනයේ ෂෙන්ෂෝ-24 (Shenzhou-24) අභ්‍යවකාශ යානයෙන් ටියැන්ගොං මධ්‍යස්ථානය වෙත පැමිණි ඔහු, චීන අභ්‍යවකාශ වැඩසටහනේ පළමු විදේශීය ගගනගාමියා ලෙස ද වාර්තා අතරට එක් විය. මෙම සිදුවීම චීනයේ අභ්‍යවකාශ වැඩසටහනේ මෙන්ම චීන-පාකිස්තාන අභ්‍යවකාශ සහයෝගීතාවේ ද සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වාදෙනු ලැබේ.
2026 නොවැම්බර් 24 වැනි දා ඇමෙරිකානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 7.18ට (නොවැම්බර් 25 වැනිදා GMT වේලාවෙන් 00.18ට) චීනයේ ජියුචුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ෂෙන්ෂෝ-24 යානය ගුවන්ගත කෙරිණි.
Long March-2F රොකට්ටුවක් ආධාරයෙන් දියත් කෙරුණු මෙම යානයේ ගගනගාමීන් තිදෙනෙකු ගමන් කළහ. ඒ අතර යානා මෙහෙයුම් ප්‍රධානී ටැං හොංබෝ (Tang Hongbo), පියාසර ඉංජිනේරු වූ යී (Wu Yi) සහ පාකිස්තාන ජාතික මුහම්මද් සීෂාන් අලි ඇතුළත් වූහ.
දියත් කිරීමෙන් පැය හයකට පමණ පසු, නොවැම්බර් 25 වැනිදා අලුයම 1.35ට පමණ ඇමෙරිකානු නැගෙනහිර වේලාවෙන් යානය ටියැන්ගොං මධ්‍යස්ථානය වෙත ළඟා විය.
මෙම මෙහෙයුමේ දී අලි කටයුතු කරන්නේ අයබර විශේෂඥ හෙවත් විද්‍යාත්මක පරීක්ෂණ හා පර්යේෂණ සඳහා විශේෂයෙන් පුහුණු කළ ගගනගාමියකු ලෙස ය.
ඔහුගේ ප්‍රධාන වගකීම වන්නේ චීන සහ පාකිස්තාන විද්‍යාඥයන්ගේ සහයෝගීතාවයෙන් සිදුකරන විද්‍යාත්මක පරීක්ෂණවලට සහභාගී වීමයි.
මෙම මෙහෙයුම යටතේ ජෛව තාක්ෂණය සහ ද්‍රව්‍ය විද්‍යාව සම්බන්ධ ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එසේ ම ප්‍රභාසංස්ලේෂණය සිදුකරන සයනොබැක්ටීරියා සම්බන්ධ පරීක්ෂණයක් ද ඔහු විසින් සිදු කිරීමට නියමිත ය.
අභ්‍යවකාශයේ දී සයනොබැක්ටීරියා භාවිතයෙන් ආහාර හා ඔක්සිජන් නිෂ්පාදනය කිරීමේ හැකියාව අධ්‍යයනය කිරීම අනාගත දිගුකාලීන අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා වැදගත් විය හැකි ය.
අලි, ටියැන්ගොං මධ්‍යස්ථානයේ සතියක පමණ කාලයක් ගත කිරීමට නියමිත අතර, අනතුරු ව ෂෙන්ෂෝ-23 යානයෙන් පෘථිවියට නැවත පැමිණීමට නියමිත ය.
40 හැවිරිදි මුහම්මද් සීෂාන් අලි පාකිස්තාන ගුවන් හමුදාවේ හිටපු ගුවන් නියමුවෙකි. ඔහු 2026 අප්‍රේල් මාසයේ දී චීන නියමු අභ්‍යවකාශ වැඩසටහන සඳහා තෝරාගත් පළමු විදේශීය ගගනගාමීන් අතරට එක් විය.
අභ්‍යවකාශ ගමන සඳහා සූදානම් වීමේ දී ඔහු බීජිං නුවර මාස හතක පමණ පුහුණුවකට සහභාගී විය. එහි දී අභ්‍යවකාශ යානා මෙහෙයුම්, ගගනගාමී පුහුණුව සහ චීන භාෂාව පිළිබඳ දැනුම ද ලබාගත්තේ ය.
තම පළමු අභ්‍යවකාශ ගමන පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එය තමන් පමණක් නොව තම රට ද නියෝජනය කරන ඓතිහාසික අවස්ථාවක් බවයි.
චීනය 2022 වසරේ දී ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන කොටස් තුන එකලස් කිරීම අවසන් කළේ ය. එය පහළ පෘථිවි කක්ෂයේ කක්ෂයේ ක්‍රියාත්මක වන ස්වාධීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයකි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) සමඟ සසඳන විට ටියැන්ගොං ප්‍රමාණයෙන් කුඩා වුව ද, විද්‍යාත්මක පර්යේෂණ, තාක්ෂණික අත්හදාබැලීම් සහ ජාත්‍යන්තර සහයෝගීතා සඳහා එහි දායකත්වය පුළුල් කිරීමට චීනය අපේක්ෂා කරයි.
චීනය සහ පාකිස්තානය අතර අභ්‍යවකාශ සහයෝගීතා ගිවිසුමක් 2025 පෙබරවාරි මාසයේ දී අත්සන් කිරීම මෙම මෙහෙයුමට මූලික පසුබිම සකස් කළේ ය. එම සහයෝගීතාව දෙරට අතර දීර්ඝකාලීන අභ්‍යවකාශ සබඳතාවල නව පියවරක් ලෙස සැලකේ.
මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ අභ්‍යවකාශයට ගිය පළමු පාකිස්තාන ජාතිකයා අලි නොවන බවයි. නමීරා සලීම් 2023 ඔක්තෝබර් මාසයේ දී Virgin Galactic සමාගමේ උපකක්ෂීය අභ්‍යවකාශ සංචාරයකට සහභාගී විය. කෙසේ වෙතත්, පෘථිවිය වටා කක්ෂගත වූ පළමු පාකිස්තාන ජාතිකයා සහ චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වූ පළමු විදේශීය ගගනගාමියා වන්නේ මුහම්මද් සීෂාන් අලි ය.
අභ්‍යවකාශ ගවේෂණය තවදුරටත් රටවල් කිහිපයකට පමණක් සීමා නොවන බව මෙම මෙහෙයුමෙන් පැහැදිලි වේ. විශේෂයෙන් ම අනාගතයේ දී චන්ද්‍රයා සහ අඟහරු ග්‍රහයා වෙත සිදුකෙරෙන මිනිසුන් සහිත මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව කෙතරම් වැදගත් ද යන්න ද මෙම ඓතිහාසික ගමන මඟින් අවධාරණය කෙරේ.