2019 වසරේදී ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප තුළින් මුලින්ම හඳුනාගත් ඇමේසන් වනයේ උසම ශාකය වෙත වසර තුනකට පසු ළඟා වීමට විද්‍යාඥයින්ට හැකිව තිබෙනවා. තට්ටු 25ක ගොඩනැගිල්ලක් තරම් උසැති මේ ශාකය Fabaceae කුලයට අයත් 𝘋𝘪𝘯𝘪𝘻𝘪𝘢 𝘦𝘹𝘤𝘦𝘭𝘴𝘢 විශේෂයේ සපුෂ්ප ශාකයක්.
උතුරුදිග බ්‍රසීලයේ ඇමේසන් වනයට අයත් ඉරටාපුරු නදී ස්වභාව රක්ෂිතයේ පිහිටි මේ ශාකය මීටර් 88.5ක් එනම් අඩි 290ක් උසැති වන අතර එහි වට ප්‍රමාණය මීටර් 9.9ක් එනම් අඩි 32ක් වෙනවා. පසුගිය සැප්තැම්බර් මස 12 වෙනි දින සිට දින10ක් පුරා සිදු කළ ගවේෂණයේදී පර්යේෂකයන් විසින් ගංගා ඔස්සේ බෝට්ටු මගින් කිලෝ මීටර් 250ක දුරක් ද, පසුව කඳුකර වනාන්තරය තුළින් තවත් කිලෝමීටර් 20ක දුරක් ද ඇවිද ගොස් තිබෙනවා.
19 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ වෛද්‍යවරයා සඳහන් කරන අන්දමට එහි එක් සාමාජිකයෙකුට විෂැති මකුළුවෙකු දෂ්ට කර තිබෙනවා.
මිනිස් වර්ගයා කිසි දිනෙක පය තබා නැති වනයේ මැද පෙදෙසට ළඟා වූ අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්නේ මෙම ගවේෂණය සංවිධානය කළ අයෙකු වන බ්‍රසීලයේ අමාපා ෆෙඩරල් සරසවියේ වන ඉංජිනේරු, 33 හැවිරිදි දියාගෝ ආමන්ඩෝ සිල්වා යි. ” එය මගේ ජීවිත කාලයටම දුටු වඩාත්ම අලංකාර දේවල් වලින් එකක්. ” ඔහු පවසනවා.
Sciencealert ඇසුරිනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි