Science News සුළි සුළං ඇති වූයේ සූර්ය කුණාටු නිසා යැයි පළ වූ පුවත අසත්‍යයක් SathyaNovember 3, 20220123 views ශ්‍රී ලංකාවට පසුගිය දිනවල බලපෑ සුළි කුණාටුව ඇති වීමට හේතුව සූර්ය කුණාටුවක් බව පසුගිය දා ප්‍රධාන මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබිණි. මෙම පුවතේ සත්‍යාව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක කේ. ආර්. අබේසිංහ මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු කියා සිටියේ, සුළි කුණාටු ඇතිවීම ට සූර්ය කුණාටුවල බලපෑමක් නැති බවයි.“කාලගුණ විද්‍යාඥයන් විසින් වසර 300ක් පමණ සිදු කළ නිරීක්ෂණ දතත් පදනම් කර ගෙන සොයා ගෙන තියෙනවා සුළි සුළඟක් ඇති වීමට පැවතිය යුතු අවශ්‍යතා කිහිපයක්. ගැඹුරු මුහුදේ උෂ්ණත්වය 26°C ට වඩා වැඩි වීම. පහළ වායු ගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 40%ට වඩා වැඩි වීම. භෞතික විද්‍යාවේ එන කොරිඔලිස් නම් පරාමිතිය සැලකිය යුතු තරම් වැඩි වීම හා වායුගෝලයේ ස්තර අතර සුළඟේ වේග වෙනස සැලකිය යුතු තරම් අඩු වීම. මෙම අවශ්‍යතා සියල්ල ම පූර්ණ වූ විට පමණයි සුළි සුළඟක් ඇති වන්නෙ. මේ හැරුණා ම සුළි සුළඟක් ඇති වීමට බලපාන වෙනත් හේතු සාධක තවමත් සොයා ගෙන නැහැ. ” එමෙන් ම ඔහු වැඩි දුරටත් පෙන්වාදෙන්නේ කාලගුණය සම්බන්ධයෙන් යම් පුවතක් වාර්තා කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හෝ එහි වෙනත් වගකිවයුතු නිලධාරියෙකුගෙන් විමසීමක් කිරීමට මාධ්‍ය කටයුතු කරන්නේ නම් මෙවැනි අවිද්‍යාත්මක පුවත් පළ වීම වළක්වා ගත හැකි බවයි. සහශ්‍රිකා දෙව්මිණි