නැනෝටයිරැනස් ඇටසැකිල්ලක් ඩොලර් මිලියන 47.3කට අලෙවි වෙයි

නිව්යෝර්ක් නුවර පැවති Sotheby’s වෙන්දේසියක දී අතිශය දුර්ලභ ආකාරයේ නැනෝටිරැනස් (Nanotyrannus) ඩයිනෝසර ඇටසැකිල්ලක් අමෙරිකානු ඩොලර් මිලියන 47.3ක (රුපියල් කෝටි 1400කට ආසන්න) වාර්තාගත මුදලකට අලෙවි වී තිබෙනවා. මෙය ලොව වෙන්දේසියක දී අලෙවි වූ ඉහළම වටිනාකමකින් යුත් දෙවන ඩයිනෝසර අස්ථි පද්ධතිය ලෙස ඉතිහාසයට එක් වනවා.

Jodi ලෙස නම් කර ඇති මෙම ඩයිනෝසර සැකිල්ල මීට වසර මිලියන 67කට පමණ පෙර, එනම් ක්‍රිටේසීය යුගයේ අගභාගයේ ජීවත් වූ නැනෝටයිරැනසයෙකුට අයත් වනවා. නැනෝටිරැනස් යනු ලොව ප්‍රකට T-rex ඩයිනෝසර විශේෂයට නෑකම් කියන, එහෙත් ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා සහ වේගවත් මාංශභක්ෂක ඩයිනෝසර විශේෂයක් බව හඳුනාගෙන තිබෙනවා.

මෙම සැකිල්ල 2019 වසරේ දී අමෙරිකාවේ මොන්ටානාහි පෞද්ගලික ඉඩමකින් සොයාගනු ලැබුවේ ජෝඩි පියර්සන් නම් තැනැත්තිය විසින්. ඇයට ගෞරවයක් ලෙස මෙම සැකිල්ල “ජෝඩි” යනුවෙන් නම් කර තිබෙනවා. දිගින් අඩි 19.6ක් සහ උසින් අඩි 9.6ක් වන මෙම සැකිල්ල පොසිල බවට පත්වූ අස්ථි කොටස් 191කින් පමණ සමන්විත වනවා.

වෙන්දේසියට පෙර මෙහි වටිනාකම ඩොලර් මිලියන 6ත් 9ත් අතර වනු ඇතැ යි ඇස්තමේන්තු කර තිබුණ ද, විනාඩි 12ක තියුණු ලංසු තැබීමකින් අනතුරුව එය ඩොලර් මිලියන 47.3කට දුරකතනය ඔස්සේ සම්බන්ධ වූ ගැනුම්කරුවෙකුට අලෙවි වී තිබෙන බවයි වාර්තා වන්නේ. එම ගැනුම්කරුගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ.

කෙසේ වෙතත්, මෙලෙස ඩයිනෝසර පොසිල අතිවිශාල මුදලකට පුද්ගලික අංශයට අලෙවි වීම සම්බන්ධයෙන් විද්‍යාඥයන් සහ පාෂාණධාතු විද්‍යාඥයින් පසුවන්නේ දැඩි කනස්සල්ලෙන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ තෝමස් ආර්. හෝල්ට්ස් පෙන්වා දෙන්නේ, මිල කළ නො හැකි මෙවැනි පොසිල පුද්ගලික ධනවතුන්ගේ නිවාසවලට සීමා වීමෙන්, අනාගත විද්‍යාත්මක පර්යේෂණ සඳහා මෙන් ම සාමාන්‍ය ජනතාවට සහ පාසල් දරුවන්ට ඒවා දැකබලා ගැනීමට ඇති අවස්ථාව මුළුමනින් ම අහිමි වී යන බවයි. තව ද, කෞතුකාගාර රැසක් මූල්‍ය අර්බුද හේතුවෙන් වැසී යන මෙවන් සමයක එක් ඩයිනෝසර සැකිල්ලක් වෙනුවෙන් මෙතරම් අතිවිශාල මුදලක් වියදම් කිරීම විද්‍යාත්මක ගවේෂණවලට කරන අගතියක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

Related posts

දින 27ක් පුරා පැවති වාර්තාගත ගැමා පිපිරුම ගැන උපකල්පන කිහිපයක්

දුරස්ථව සුවඳ බෙදාගත හැකි නවතම තාක්ෂණයක්

අන්තර්ජාලයෙන් 70% කට බලපාන දෝෂයක් AI හරහා සොයාගැනීමත් සමඟ ලොව පුරා වෙබ් අඩවි රැසක් අක්‍රිය වෙයි