Science News ඩයිනෝසෝර අස්ථියකින් රතු රුධිර සෛල හමුවෙයි SathyaNovember 4, 202603 views වසර මිලියන 115 කට පෙර ජීවත් වූ මාංශ භක්ෂක ඩයිනෝසරයෙකුගේ අස්ථි කොටස් ඇසුරින් පොසිල බවට පත්වූ රතු රුධිර සෛල සහ හීමොග්ලොබින්හි ඔක්සිජන් ගෙන යන ප්‍රධාන සංඝටකය වන ‘හීම්’ (Heme) කාබනික සංයෝගයේ සලකුණු සොයාගැනීමට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ ‘ඇරටාසෝරස්’ (Aratasaurus) ගණයට අයත් කුඩා ඩයිනෝසරයාගේ පසුපස පාදයේ අස්ථි ආශ්‍රිත ව මෙම අධ්‍යයනය සිදු කර තිබුණා. ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්ලිටි ග්‍රයිස්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද මෙම අධ්‍යයනයේ දී ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඔස්සේ අස්ථිවල රුධිර නාල පිහිටි කුඩා මාර්ග තුළ රතු රුධිර සෛලවලට සමාන ව්‍යුහයන් නිරීක්ෂණය කර තිබෙනවා. ඊට අමතර ව රසායනික පරීක්ෂණ මගින් හීම් සංයෝගය මෙන් ම කොලජන් ප්‍රෝටීනය සාදන ඇමයිනෝ අම්ල කොටස් ද හඳුනාගෙන තිබෙනවා. පර්යේෂකයන් පවසන්නේ සෛල වටා සෑදුණු හවුස්මනයිට් නමැති මැංගනීස් සංයෝගය මගින් මෙම ජෛව කොටස් පොසිල බවට පත්වීමට පෙර ආරක්ෂා කරන්නට ඇති බවයි. කෙසේ වෙතත්, මෙම සොයාගැනීම සම්බන්ධයෙන් විද්‍යා ක්ෂේත්‍රයේ විවිධ මත පළවෙමින් තිබෙනවා. උතුරු කැරොලිනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මේරි ෂ්විට්සර් පෙන්වා දෙන්නේ සාමාන්‍ය ඩයිනෝසර රතු රුධිර සෛල දෙපසට නෙරා ගිය ස්වභාවයක් ගන්නා නමුත් මෙහි දක්නට ලැබෙන ව්‍යුහයන් උත්තල හැඩයක් ගන්නා බැවින් ඒවා වෙනත් යමක් විය හැකි බවයි. එසේ වුව ද හීම් සහ ඇමයිනෝ අම්ල හඳුනාගැනීම සම්බන්ධයෙන් ඇය ද එකඟතාව පළ කරනවා. මෙම පර්යේෂණය මගින් ‘ජුරාසික් පාක්’ චිත්‍රපටයේ මෙන් ඩී.එන්.ඒ. නැවත ලබාගැනීමට නොහැකි වුවත්, පුරාණ පොසිල තුළ කොපමණ දුරකට අණුක තොරතුරු සුරක්ෂිත ව පවතින්නේ ද යන්න හඳුනාගැනීමට සහ ඩයිනෝසරයන්ගේ රුධිර සංසරණය හා පරිවෘත්තීය ක්‍රියාවලිය පිළිබඳ නව අධ්‍යයනයන්ට මග පාදනු ඇති.