Home Science News පෘථිවියට ආසන්නතම කළු කුහරය සොයා ගැනේ

පෘථිවියට ආසන්නතම කළු කුහරය සොයා ගැනේ

by Sathya

කළු කුහර පිළිබඳ වාර්තා පොත් නැවත ලිවීමට හේතුවන සොයාගැනීමක් පිළිබඳ අධ්‍යයන වාර්තාවක් පසුගිය නොවැම්බර් 2 වෙනි දින Monthly Notices of the Royal Astronomical Society නම් ජර්නලයේ පළ කර තිබෙනවා. ඒ අපේ සූර්යයා මෙන් දස ගුණයක ස්කන්ධයක් ඇති සමීපතම තාරීය ස්කන්ධ කළු කුහරයක්  (Stellar – mass Black hole) පිළිබඳවයි.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,560ක් දුරින් ඇති මෙම කළු කුහරය ඔපියුකස් තාරකා මණ්ඩලය තුළ පිහිටා තිබෙන අතර එය Gaia BH 1 යනුවෙන් නම් කර තිබෙනවා. දින 185.9 කට වරක් අපේ සූර්යයාට සමාන තාරකාවක් සමග එකිනෙක වටා පරිභ්‍රමණය වන ද්විත්ව තාරකා පද්ධතියක් ලෙස පවතින මෙම කළු කුහරය මෙතෙක් වාර්තා වී තිබෙන පෘථිවියට සමීපතම කළු කුහරය වෙනවා.

මීට පෙර මේ වාර්තාව හිමි වූයේ ආලෝක වර්ෂ 3,300ක් දුරින් Monoceros තාරකා මණ්ඩලයේ පිහිටන A0620 – 00 නම් කළු කුහරයටයි.

Gaia BH 1 කළු කුහරය සහ එහි සහාය තරුව අතර දුර පෘථිවිය හා අපේ සූර්යයා අතර දුර තරම් වෙනවා.

මේ කළු කුහරය සොයාගෙන තිබෙන්නේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) මගින් 2013 වසරේ සිට ගුවන් ගත කර ඇති Gaia අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය මගින් සිදු කරන ලද නිරීක්ෂණ මගිනුයි.

” අපේ ක්ෂීරපථ චක්‍රාවාටය තුළ සූර්යයා වැනි තාරකාවක් තාරීය ස්කන්ධ කළු කුහරයක් වටා පුළුල් කක්ෂයක පරිභ්‍රමණය වන බවට සිදු කළ පළමු පැහැදිලි හඳුනා ගැනීම මෙයයි.” මෙම අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතුවර මැසචුසෙට්ස් හි තාරකා භෞතික විද්‍යාව පිළිබඳ හාවඩ් – ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ සහ ජර්මනියේ තාරකා විද්‍යාව සඳහා වන මැක්ස් ප්ලාන්ක් ආයතනයේ තාරකා භෞතික විද්‍යාඥ කරීම් එල් – බඩ්රි පවසනවා.

Gaia BH 1 කළු කුහරය සොයාගත හැකි වූයේ එහි පරිවාර තාරකාවේ චලිතයෙහි දුටු කුඩා අක්‍රමිකතාවයන්ට හේතුවන අදිසි ගුරුත්වාකර්ෂණ බලයක් ඇති කරන වස්තුව කවරක් දැ යි පිළිබඳ ව සෙවීමේ දී යි. Gaia අභ්‍යවකාශ යානයේ මිනුම්වලට අනුව එය කළු කුහරයක් බවට යෝජනා කළ ද  පොළොව මතුපිට තිබෙන දුරේක්ෂයන් වන හවායී හි Gemini North සහ Keck 1 දුරේක්ෂ මෙන් ම චිලී හි Magellan Clay සහ MPG/ESO යන දුරේක්ෂවලින් තවදුරටත් සිදු කළ නිරීක්ෂණවලින් අනතුරුව මෙම අදිසි වස්තුව කළු කුහරයක් ම බවට ස්ථිර ව ම හඳුනා ගැනීමට හැකි ව තිබෙනවා.

Space.com ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications