මෙතෙක් පෙළ ගස්වන ලද පැරණිතම ශාක ජීනෝමය ඉපැරණි කොමඩු ශාකයක බීජවල DNA මගින් හඳුනාගෙන තිබෙනවා.
වට්ටක්කා ශාකය පවා ඇතුළත් වන කුකුර්බිටාසියේ කුලයට අයත් කොමඩු ශාකය අයත් වන්නේ Citrullus lanatus නම් ශාක විශේෂයටයි.
Molecular Biology and Evolution ජර්නලයේ මෑතක දී පළ කරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව වසර 6000ක් පමණ පැරණි මේ කොමඩු බීජ පසුගිය 90 දශකයේ දී මතු කරගෙන ඇත්තේ සහරා කාන්තාරයේ වර්තමාන ලිබියාවට අයත් නිරිතදිග පෙදෙසේ පිහිටි Uan Muhuggiag නම් පුරා විද්‍යාත්මක කැණීම් බිමක පිහිටි ගුහාවකිනුයි. ගුහාව තුළ පැවති ලවණමය, වියලි වාතාශ්‍රය මගින් බීජ සහ ඒවා තුළ DNA හොඳින් සුරක්ෂිතව පවත්වාගෙන ඇති බව පැහැදිලි වී තිබෙනවා. මේ DNA ජීනෝම පෙළ ගැස්වීම සිදු කර ඇත්තේ එක්සත් රාධානියේ කිව් රාජකීය උද්භිද උද්‍යානයේ විද්‍යාඥයින් විසිනුයි.
එකල විසූ බැටළුවන් බලා ගන්නා එඬේරුන් විසින් මෙම කොමඩු බීජ සපා කා ඇති බවයි සොයාගෙන තිබෙන්නේ.
ඒවායේ ජීනෝමය පරීක්ෂා කිරීමෙන් පෙනී ඇත්තේ එම බීජ අප්‍රිකාවේ පැරණිතම බෝග වලින් එකක් වන තිත්ත රසැති මදයක් තිබූ වල් කොමඩු ප්‍රභේදයකට අයත් බවයි.
කොමඩු බීජ සමහරක ඇති දත්වලින් සැපූ සලකුණු අනුව මෙම තිත්ත රසැති මදය සහිත කොමඩු ප්‍රභේදය එඬේරුන් විසින් සිතාමතා ම එකතු කරන ලද හෝ වගා කරනු ලැබ ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරනවා.
තවත් අධ්‍යයනයකට අනුව ඉපැරණි කොමඩු ප්‍රභේදයේ තිත්ත රසැති සංයෝග තිබීමට හේතුවන ජානමය විකෘති පර්යේෂකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.
පැරන්නන්ගේ ආහාර රටාවන් ගැන අවබෝධයක් මෙම සොයාගැනීම තුළින් ලබා ගැනීමට හැකි වන බව මේ පිළිබඳ ව ස්මිත්සෝනියන් සඟරාව පළ කරන ලද සටහනක දැක්වෙනවා.
Live Science ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි