මිහිපිට ඇවිද ගිය සුවිසල් ම මෙන් ම රෞද්‍ර ම ඩයිනෝසෝරයෙකු වශයෙන් ටයිරනෝසෝරස් රෙක්ස් (Tyrannosaurus rex) හැඳින්විය හැකියි. ඩයිනෝසෝරයන් කියූ සැණින් අදටත් බොහෝ දෙනෙකුගේ සිතේ මැවෙන්නේ T. rex කෙනෙකුගේ රූපයක්.
ඔන්ටාරියෝ හි පිහිටි කැනේඩියානු ස්වභාවික කෞතුකාගාරයේ පාෂාණධාතුවේදීන් (ෆොසිල පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයන් – Paleontologists) පෙන්වා දෙන්නේ අප සිතා සිටිනවාට වඩා T. rex සතුන් ප්‍රමාණයෙන් විශාල වන්නට ඇති බවයි. කිලෝ ග්‍රෑමි 11,000කට අධික බරකින් යුතු T. rex ඩයිනෝසෝරයන් ද එකල වාසය කරන්නට ඇති බවයි ඔවුන් පවසන්නේ.
දැනට බරෙන් අධිකම මෙන් ම විශාලතම T. rex ෆොසිලය ලෙස සැලකෙන්නේ ‘ස්කොටී’ යන සුරතල් නාමයක් ද පටබැඳී ඇති බර කිලෝග්‍රෑම් 8,900කින් යුතු නිදර්ශකයයි. 1991 දී කැනඩාවේ Saskatchewan හි දී ගවේෂණය කරනු ලැබූ එය මේ වන විට එම ප්‍රදේශයේ ම පිහිටුවා ඇති Royal Saskatchewan Musium කෞතුකාගාරයේ ටී. රෙක්ස් ගවේෂණ මධ්‍යස්ථානය තුළ තැන්පත් කර ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.
කැනඩාවේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ විශාලතම T. rex ඩයිනෝසෝරයා ‘ස්කොටී’ට වඩා 70% කින් පමණ විශාල වන්නට ඇති බවයි. එය ආසන්න වශයෙන් ‘ස්කොටී’ මෙන් දෙගුණයක පමණ විශාලත්වයක්.
මේ නිගමනයට ඒමට පෙර ඔවුන් ෆොසිල වාර්තා හොඳින් අධ්‍යයනය කර ලොව පුරා T. rex විශේෂයට අයත් ඩයිනෝසෝරයන් බිලියන 2.5ක් පමණ වාසය කරන්නට ඇතැයි සොයාගෙන තිබුණා. ඒ කෙසේ නමුත් වැඩුණු, සම්පූර්ණ T. rex ෆොසිල තවමත් සොයාගන්නට සමත් වී තිබෙන්නේ 32ක් පමණයි.
මේ අධ්‍යයනයේ සම කර්තෘ ඩේවිඩ් හෝන් ලන්ඩනයේ ක්වීන් මේරි සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනා අතරේ T. rexගේ සාමාන්‍ය ආයු කාලය සහ ගහනය සැලකිල්ලට ගනිමින් පරිගණක සමාකෘති අධ්‍යයනයේ නිරත වුණා.
මේ අධ්‍යයනයේ සමකර්තෘ Mallon පවසන්නේ සන්සන්දනය කිරීමට තරම් ප්‍රමාණයෙන් විශාල හා සම්පූර්ණ ප්‍රමාණවත් ෆොසිල ප්‍රමාණයක් නැති නිසා තවම මේ ගැන නිගමනය කළ හැක්කේ අනුමානයෙන් පමණක් බවයි.
Live Science ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි