Home Science News පෘථිවියේ නොමැති ඛනිජ දෙකක් උල්කාශ්මයකින් හමුවේ

පෘථිවියේ නොමැති ඛනිජ දෙකක් උල්කාශ්මයකින් හමුවේ

by Sathya

මිහිතලය මත මින් පෙර කවදාවත් දැක නොතිබූ ඛනිජ දෙවර්ගයක් උල්කාශ්මයක සැඟව තිබී සොයා ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.

2020 වසරේදී සෝමාලියාවේ Hiiraan ප්‍රදේශයට අයත්  El Ali නගරයට ආසන්නව තිබී  සොයා ගත් මෙට්‍රික් ටොන් 15ක් බරැති මේ උල්කාශ්මයෙන් කපාගත් ග්‍රෑම් 70ක් බරැති තනි කොටසක මේ නවතම ඛනිජ දෙවර්ගය හඳුනා ගැනීමට හැකි වුණා.

ඉන් එක් ඛනිජයක් El Ali උල්කාශ්මයේ නමින් එලලයිට් ( Elaliite ) නමින් ද, අනෙක් ඛනිජය එල්කින්ස්ටැන්ටනයිට් ( Elkinstantonite ) නමින් ද නිල වශයෙන් නම් කර තිබෙනවා.

ඉහත දෙවෙනි ඛනිජය නම් කර තිබෙන්නේ එක්සත් ජනපදයේ ඇරිසෝනා  ප්‍රාන්ත සරසවියේ ග්‍රහලෝක විද්‍යාඥවරියක හා මහාචාර්යවරියක වන Lindy Elkins – Tanton ගේ නමින් ඇයට ගෞරවයක් වශයෙනුයි.

16 Psyche ග්‍රහකය ගවේෂණය පිණිස ලබන 2023 වසරේ ඔක්තෝබර් මස දී දියත් කිරීමට සැලසුම් කර තිබෙන Psyche අභ්‍යවකාශ යානා මෙහෙයුමේ ප්‍රධාන පර්යේෂකවරිය ලෙස ක්‍රියා කිරීමට NASA ආයතනය තෝරාගෙන ඇත්තේත් ඇයයි.

El Ali උල්කාශ්මය මෙතෙක් පොළොව මත පතිතව තිබී හමු වූ උල්කාශ්ම අතුරෙන් විශාලත්වයෙන් නව වෙනි උල්කාශ්මය වෙනවා.

එය බරින් 90%ක්ම යකඩ සහ නිකල් අඩංගු උල්කාශ්මයක් වන අතර එම උල්කාශ්මය අයන් lAB සංකීර්ණ උල්කාශ්මයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

මේ උල්කාශ්මයෙන් වෙන් කරගත් ග්‍රෑම් 70ක් බරැති කොටස පරීක්ෂා කිරීමෙන් නව ඛනිජ යුගල සොයාගෙන තිබෙන්නේ කැනඩාවේ ඇල්බර්ටා සරසවියේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්.

” ඔබ අළුත් ඛනිජයක් සොයා ගන්නා හැම විටම ඉන් කියවෙන්නේ එය අයත් පාෂාණයේ රසායනය සහ භූ විද්‍යාත්මක තත්වයන් මීට පෙර සොයාගෙන තිබුණු ඒවාට වඩා වෙනස් බවයි. “

ඇල්බර්ටා සරසවියේ පෘථිවි හා වායුගෝලීය විද්‍යා අංශයේ මහාචාර්ය සහ එම සරසවියේ උල්කාශ්ම එකතුවෙහි භාරකරු ලෙස ක්‍රියා කරන ක්‍රිස් හර්ඩ් එසේ පැවසුවා.

El Ali උල්කාශ්මයෙන් සොයාගත් දෙවෙනි ඛනිජය Elkinstantonite ලෙසින් නම් කළේ ඔහුයි.

” ලින්ඩි විසින් ග්‍රහලෝක වල හරයන් නිර්මාණය වීම පිළිබඳව බොහෝ කාර්යයන් කර තිබෙනවා. මේ යකඩ නිකල් හරයන් අයන් උල්කාශ්මයන් ගේ සමීපතම අනුරූපකයන් වෙනවා. එනිසා ඇගේ විද්‍යාත්මක දායකත්වය වෙනුවෙන් ඛනිජය ඇගේ නමින් නම් කළා. “

ඔහු ඒ පිළිබඳව පැවසුවා.

ඒ අනුව ග්‍රහකයන් සෑදී ඇති ආකාරය පිළිබඳව වැදගත් හෝඩුවාවන් මේ නවතම ඛනිජ දෙකෙන් සැපයෙනු ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරනවා.

Live Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications