Home Science News පිළිකා එන්නත් පරීක්ෂණ ඇරඹීමට එක්සත් රාජධානිය සූදානම්

පිළිකා එන්නත් පරීක්ෂණ ඇරඹීමට එක්සත් රාජධානිය සූදානම්

by Sathya

එළැඹෙන සරත් ඍතුවේ දී පිළිකා ඇතුළු වෙනත් රෝග සඳහා වන එන්නත් පරීක්ෂා කිරීමට තමන් ජර්මානු සමාගමක් වන BioNTech සමග හවුල් වන බව එක්සත් රාජධානිය පසුගිය දා නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. COVID වසංගත සමයේ වඩාත් ප්‍රචලිත වුණු mRNA එන්නත් තාක්ෂණය මත ගොඩනැඟී ඇති මේ ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ 2030 වසර වන විට එක්සත් රාජධානි වැසියන් දස දහසකට ප්‍රතිකාර ලබාදීමයි.

මෑතක් වන තුරු ම පිළිකාවට ප්‍රතිකාර කෙරුණේ ශල්‍යකර්ම, විකිරණ ප්‍රතිකාර හෝ රසායනික චිකිත්සාව යන ආකාර තුන මඟින්. නමුත් 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී Moderna සහ Merck පුද්ගලාරෝපිත පිළිකා එන්නත් හරහා ධනාත්මක ප්‍රතිඵල වාර්තා කොට තිබෙනවා. එහි දී මූලික ව ම සිදුව ඇත්තේ රෝගීන්ගේ පිළිකා සෛල සාම්පල ලබාගෙන ඒවායේ විකෘති වූ DNA කොටස් mRNA පොටකට එකතු කර ඒවා ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමයි.

සාමාන්‍ය COVID එන්නතකින් සිදුකෙරෙන ආකාරයට ම මේ mRNA මඟින් පිළිකා සෛල ස්වල්පයක් සෑදෙන අතර පර්යේෂණවල ප්‍රතිඵලයන්ට අනුව රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එයට එරෙහි ව ප්‍රතික්‍රියා කරන රෝගියාට ආරක්ෂාව සලසනවා.

එන්නත් සම්බන්ධ මධ්‍ය අදියරේ අධ්‍යයන ප්‍රතිඵලවලින් පෙන්නුම් කෙරෙන්නේ පුද්ගලාරෝපිත පිළිකා එන්නතෙහි සම්මත ප්‍රවේශය හා සංසන්දනය කරන විට පිළිකාව නැවත ඇතිවීමේ හෝ පිළිකාව හේතුවෙන් මියයාමේ අවදානම ප්‍රතිකාරවලින් පසු 44%කින් අවම වී ඇති බවයි. වඩාත් සතුටට කරුණ නම් දැනට පවතින ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාරවලින් ඇති වන තරමේ දරුණු අතුරු ආබාධ කිසිවක් රෝගීන්ට ඇති නොවීමයි.

mRNA එන්නත සම්බන්ධ අධ්‍යයන කටයුතු මූලික ව ම සිදුවී ඇත්තේ සමේ පිළිකා ආශ්‍රිතවයි. කෙසේ වෙතත් අධ්‍යයන ප්‍රතිඵලවල තිබෙන කරුණු සාමාන්‍ය භාවිතයේ දී වෙනස් විය හැකි අතර මහා පරිමාණ සායනික අත්හදා බැලීමක් හරහා අනෙකුත් පිළිකා සම්බන්ධයෙන් එන්නත ක්‍රියාකරන ආකාරය ද විශ්ලේෂණය කිරීමට විශේෂඥයෝ බලාපොරොත්තු වෙනවා. පර්යේෂකයන් පවසන පරිදි මේ ප්‍රයත්නය පිළිකාවට එරෙහි ඖෂධ නිෂ්පාදනයේ තවත් එක් යෝධ පිම්මක් වශයෙන් සැලකිය හැකියි.

Science Alert ඇසුරෙනි.

තරුෂි කෞෂානි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications