Home Science News ටෝල්කීන්ගේ නම ලද නව මැඩි විශේෂයක් ඉක්වදෝරයෙන් 

ටෝල්කීන්ගේ නම ලද නව මැඩි විශේෂයක් ඉක්වදෝරයෙන් 

by Sathya

ඉක්වදෝරයේ විද්‍යාඥයින් විසින් අලුතෙන් සොයාගෙන ඇති ධාරා මැඩි විශේෂයක් ලා රෝස පාට ඇස් සහ රන්වන් ලප සහිත ඇඟිලි සහිතයි.

ඌ ඇත්තට ම පෙනෙන්නේ විස්මිත ශානරයේ කථා රචක J.R.R. ටෝල්කීන් විසින් ඔහුගේ “The Hobbit ” සහ “The Lord of the Rings ” යන කෘතිවල දැක්වෙන කල්පිත අතීත මහාද්වීපයක් වන Middle – earth හි සිට පැමිණි සතෙකු ලෙසයි.

එනිසා ම මේ ධාරා මැඩි විශේෂය 𝑯𝒚𝒍𝒐𝒔𝒄𝒊𝒓𝒕𝒖𝒔 𝒕𝒐𝒍𝒌𝒊𝒆𝒏𝒊 ලෙස නම් කර තිබෙන්නෙ ටෝල්කීන්ගේ නමින්.

“මේ නව මැඩි විශේෂයේ විස්මිත වර්ණ නිසා ම ඌ ටොල්කීන් විසින් නිර්මාණය කළ අද්භූතයන්ගෙන් පිරුණු විශ්වයක ජීවත් වෙන සතෙකු වගෙයි. “

ඉක්වදෝරයේ ජෛව විවිධත්වය පිළිබඳ ජාතික ආයතනයේ පර්යේෂකයකු සහ ක්විටෝ අගනුවර පිහිටි USFQ සරසවියේ සත්ත්ව විද්‍යා කෞතුකාගාරයේ අධ්‍යක්ෂ Diego F. Cisneros – Heredia පවසනවා.

පසුගිය ජනවාරි මස 19 වැනි දින ZooKeys ජර්නලයේ පළ කර ඇති අධ්‍යයන වාර්තාවක පර්යේෂකයන් විසින් මේ Lord of the Rings ධාරා ගස් මැඩි විශේෂය සෙන්ටි මීටර් 6.5ක් දිගැති, අළුවන් කොළ පැහැති වර්ණයක් ඇති බව දක්වා තිබෙනවා.

𝑯𝒚𝒍𝒐𝒔𝒄𝒊𝒓𝒕𝒖𝒔 𝒕𝒐𝒍𝒌𝒊𝒆𝒏𝒊 නම් මේ නව ධාරා ගස් මැඩි විශේෂය සොයාගෙන තිබෙන්නේ ඉක්වදෝරයේ වලාකුළු වනාන්තර සහ ඇල්පයින් තුන්ද්‍රාවලින් ගහන විශාල ලෙස අධ්‍යයනයට ලක් නො වූ පෙදෙසක් වන Rio Negro – Sopladora ජාතික උද්‍යානයෙනුයි.

අනෙක් ධාරා මැඩි විශේෂ මෙන් ම මේ මැඩි විශේෂය ද වෙසෙන්නේ හෙක්‍ටයාර 75,000කට වඩා විශාල මේ උද්‍යානයේ පිහිටි ඇන්දීස් කඳු මුදුන් මතින් ගලා යන කඳුකර ගංගාවලයි.

ඉක්වදෝරයට අයත් මේ ප්‍රදේශයේ 2020 වසරේ සිට කර තිබෙන ගවේෂණවලින් නව සත්ත්ව විශේෂ විශාල සංඛ්‍යාවක් සොයාගෙන තිබෙනවා.

නිවර්තන ඇන්දීස් ප්‍රදේශය ඉතා පුදුමාකාර ශාක, සත්ත්ව, දිලීර විශේෂ අයත් වන ලොව විස්මය දනවන පරිසර පද්ධතිවලින් ගහනයි.

එහෙත් වන විනාශය, තිරසාර නො වන කෘෂි පිළිවෙත්, ලෝහ නිස්සාරණය හා ආක්‍රමණික විශේෂ, දේශගුණික වෙනස්කම් වැනි හේතූන් නිසා ඇන්දීස් ජෛව විවිධත්වයට ප්‍රබල බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ නව ධාරා ගස් මැඩි විශේෂය පිළිබඳ අධ්‍යයන වාර්තාවේ දැක්වෙන අන්දමට ඉක්වදෝරයේ උභයජීවී විශේෂ වලින් 57%ක් වඳ වී යාමේ තර්ජනයට මුහුණ සිටිනවා.

Live Science සහ ZooKeys ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications