Home Science News ස්වභාවික පරිසරයෙන් තුරන් වූ ගොළුබෙලි විශේෂයක් සංරක්ෂණය කොට මුදා හැරේ

ස්වභාවික පරිසරයෙන් තුරන් වූ ගොළුබෙලි විශේෂයක් සංරක්ෂණය කොට මුදා හැරේ

by Sathya

අභිජනනය කළ පොලිනේසියානු ගස් ගොළුබෙල්ලන් 5522 දෙනෙකු ප්‍රංශ පොලිනේසියාවේ විශාලතම දූපත වන ටහිටි (Tahiti) දූපත මත මුදාහරින්නට පියවර ගෙන තිබෙනවා.

𝑃𝑎𝑟𝑡𝑢𝑙𝑎 𝑛𝑜𝑑𝑜𝑠𝑎 යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ කුඩා මොලුස්කාවන් විශේෂය ස්වභාවික පරිසරයෙන් වඳ වී ගොස් ඇති බවට නිවේදනය කරනු ලැබුණේ 1994 වසරේ දී යි. අදින් දශක තුනකට පමණ පෙර මිනිසුන් විසින් දූපතට හඳුන්වා දෙනු ලැබූ තවත් ගොළුබෙල්ලන් විශේෂ දෙකක් වන අප්‍රිකානු යෝධ බිම් ගොළුබෙල්ලා (𝐿𝑖𝑠𝑠𝑎𝑐ℎ𝑎𝑡𝑖𝑛𝑎 𝑓𝑢𝑙𝑖𝑐𝑎) සහ රොසී වොල්ෆ් ගොළුබෙල්ලා (𝐸𝑢𝑔𝑙𝑎𝑛𝑑𝑖𝑛𝑎 𝑟𝑜𝑠𝑒𝑎) ඔවුන්ගේ සීඝ්‍ර වඳවීමට හේතුව වී තිබුණා.

කෙසේ නමුත් 90 දශකය මුල දී ලෝ වටා විවිධ ජීව සංරක්ෂණ විශේෂඥයන් සහ සත්ත්වෝද්‍යාන මැදිහත් ව අවසාන 𝑃𝑎𝑟𝑡𝑢𝑙𝑎 ගොළුබෙල්ලන් සුරක්ෂිත ව තබාගත් අතර ක්‍රමික ව අභිජනන කටයුතු සිදු කෙරුණා. මේ සංරක්ෂණ ක්‍රියාවලිය තුළ Zoological Society of London (ZSL), Royal Zoological Society of Scotland සහ ඇමරිකා එක්සත් ජනපදයේ සෙන්ට් ලුයිස් සත්ත්වෝද්‍යානය කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නා. පසුගිය දශකය මුළුල්ලේ ම එසේ අභිජනනය කරගත් 𝑃𝑎𝑟𝑡𝑢𝑙𝑎 ගොළුබෙල්ලන් ක්‍රමික ව යළි ස්වභාවික වාස භූමි වෙත මුදා හැරීම සිදුවෙමින් තිබෙනවා.

ඉකුත් මාසයේ දී 5522 දෙනෙකුගෙන් යුතු ගොළුබෙල්ලන් ගහනයක් මුදා හැරු‍ණේ මේ මුදාහැරීම් මාලාවේ එක් පියවරක් හැටියට යි. ZSL සඳහන් කරන ආකාරයට ස්වභාවික පරිසරයෙන් තුරන් ව ගිය සත්ත්ව විශේෂයකට අයත් වැඩි ම ජීවීන් පිරිසකගේ මුදා හැරීම මෙයයි.

අඳුරේ දී වුවත් පහසුවෙන් සොයා ගැනීමේ පහසුව තකා මෙලෙස හඳුන්වා දුන් 𝑃𝑎𝑟𝑡𝑢𝑙𝑎 ගොළුබෙල්ලන්ගේ කටුව මත පාරජම්බුල තීන්ත (UV paint) මඟින් සලකුණක් තබා තිබෙනවා. මියගිය ශාක කොටස් මත යැපෙන මේ ගොළුබෙලි විශේෂය එම පරිසර පද්ධතියේ සෞඛ්‍ය සම්පන්න බව රැක ගැනීමට දක්වන සහයෝගය ඉමහත්. පොලිනේසියානු දූපත් මත පිහිටන පරිසර පද්ධතියේ සමතුලිත බව මේ මුදා හැරීමත් සමග රැකගන්නට හැකි වේ යැයි සංරක්ෂණ විශේෂඥයන් බලාපොරොත්තු වනවා.

Mongabay ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications