කෝවිඩ් 19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය නිමා වෙයි

Covid-19. Coronavirus Outbreak Design with Virus Cell in Microscopic View on Green Background. Vector Illustration Template on Dangerous SARS Epidemic Theme for Promotional Banner or Flyer

කෝවිඩ් – 19 තවදුරටත් ‘ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක්’ නො වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා. ඊයේ දිනයේ දී ඒ බව නිවේදනය කරන විට ‘ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය’ පණවා වසර තුනකට වඩා ගත ව තිබුණා.

‘ඊයේ දිනයේ දී හදිසි අවස්ථා කමිටුව ‘Emergency Committee 15 වැනි වතාවටත් රැස් වීමෙන් අනතුරු ව මට යෝජනා කළා ජාත්‍යන්තර මට්ටමින් බලපවත්වන අයුරින් නිවේදනය කළ පොදුජන සෞඛ්‍ය හදිසි අවස්ථාව නිමා කළ යුතු බව. මම ඒ උපදෙස පිළිගත්තා. එනිසා දැඩි බලාපොරොත්තු සහිත ව මම ප්‍රකාශ කර සිටිනවා, කෝවිඩ් -19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් (Global health emergency) නො වන බව.’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් අඩනොම් ගිබ්රියේසුස් (Tedros Adhanom Ghebreyesus) සඳහන් කළා.

කෙසේ නමුත් ගෝලීය හදිසි අවස්ථාව නිමා කරනු ලැබුව ද, 2020 මාර්තුවේ දී නිවේදනය කරන ලද වසංගත තත්ත්වය තවමත් නිම වී නැති බවත් මෙහි දී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. ඒ අග්නිදිග ආසියාවෙන් සහ මැදපෙරදිගින් යළි වයිරසය හිස ඔසවා තිබෙන බව නිරීක්ෂණය වීම හේතුවෙන්. ගතවන සෑම සතියකට ම තවමත් මරණ දහස් ගණනක් එකතු කරන්නට එය සමත් බවයි සංවිධානය අවධාරණය කළේ.

2020 ජනවාරි 30 වැනි දා ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශයට පත් කරන විට වසංගතය COVID – 19 ලෙසින් නම් කර තිබුණේ ද නැහැ. එසේ ම වසංගතය තත්ත්වය පැතිරෙමින් ද තිබුණේ චීන දේශ සීමා තුළ පමණයි. වසර තුනකට පසු හැරී බලන විට එය මිලියන 6කට අධික පිරිසකට මරු කැඳවමින් ලෝක ඉතිහාසය වෙනස් කළ තීරණාත්මක යුගයක් සලකුණු කර තිබෙනවා.

Al Jazeera සහ CNN ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

NASA ආයතනයේ X-59 ගුවන් යානය පළමු වරට ශබ්දයේ වේගය අභිබවා යයි

බ්‍රිතාන්‍යය 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

ගෝලීය භූගත දිලීර ජාලයේ සිතියමක් එළිදැක්වේ