Home Science News බීටල්ජූස් තාරකාවේ දීප්තිය වැඩි වෙයි

බීටල්ජූස් තාරකාවේ දීප්තිය වැඩි වෙයි

by Sathya

ඔරායන් හෙවත් දඩයක්කරුගේ තාරකා රාශියේ උරහිස නිරූපණය කරන බීටල්ජූස් (Betelgeuse) තාරකාව පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 642.5ක් ඈතින්. රතු සුපිරි යෝධ තරුවක් වන එය අපගේ සූර්යයාට වඩා වයසින් අතිශය බාලයි. අපගේ සූර්යයා වසර බිලියන 4.6ක් පැරැණි වුවත් බීට්ල්ජූල් උරුමකම් කියන්නේ වසර මිලියන 10 ක ඉතිහාසයකට පමණයි. නමුත් අනෙකුත් රතු සුපිරි යෝධයින් මෙන් එයටත් අඩු වයසින් ම මියයන්නට ඉරණම තීන්දු වී තිබෙනවා.

ඉකුත් සති කිහිපය තුළ සිදු කෙරුණු නිරීක්ෂණයන් මඟින් බීටල්ජූස් තරුවේ දීප්තිය පෙරට වඩා 50%කින් වැඩි වී ඇති බව සොයාගෙන තිබෙනවා. මෙය ද එම තාරකාව සිය විස්මයජනක අවසානය වෙත යන ගමනේ එක් සංධිස්ථානයක් බව විද්වතුන් සඳහන් කරනවා.

‘බීටල්ජූස් ඉක්මනින් පුපුරන්නට නියමිත බව අපි දන්නවා. නමුත් මෙතන “ඉක්මන” යනුවෙන් අදහස් වෙන්නේ තවත් වසර 10,000ත් 100,000ත් අතර කාල සීමාව තුළ යන්නයි. මට මේ දැන් ම ම බීටල්ජූස් පුපුරන බව කියන්න බෑ.’ එසේ පවසන්නේ නිව්යෝක්හි Flatiron Institute ආයතනයේ තාරකාභෞතික විද්‍යාඥ Jared Goldberg.

තාරකාවේ දීප්තිය, වර්ණය, ප්‍රමාණය සහ වයස සසඳා බැලූ විද්‍යාඥයන්ට අනුව එය තවමත් ඇත්තේ හීලියම්, කාබන් බවට විලයනය කෙරෙන ක්‍රියාවලියේ මුල් අවධියේ යි. අනතුරුව කාබන් ඔක්සිජන් බවටත්, අවසානයේ සිලිකන් සහ යකඩ බවටත් පත් වීමට නියමිතයි. මේ අවධියට පත් වූ පසු බීටල්ජූස් තාරකාවට තව දුරටත් විලයන ක්‍රියාවලිය මඟින් ශක්තිය උත්පාදනය කරගත නො හැකි වනු ඇති අතර තමාගේ ම ව්‍යුහය තුළට කඩා වැටීමෙන් අනතුරුව සුපර්නෝවා පිපුරුමක් ඇති කරමින් මිය යනු ඇතැයි උපකල්පනය කෙරෙනවා.

තවත් වසර 10,000ත් 100,000 අතර නො නැසී පැවතුණහොත්, බීටල්ජූස්ගේ සුපර්නෝවා පිපුරුම මනස්කාන්ත දර්ශනයක් ලෙස දැකබලා ගැනීමේ හැකියාව මිනිස් ශිෂ්ටාචාරයට ලැබෙනු ඇති. ‘සතියක කාල සීමාව තුළ තාරකාවේ දීප්තිය සාමාන්‍ය අගයට වඩා ලක්ෂ ගුණයකින් පමණ ඉහළ යනු ඇති.’ ගෝල්ඩ්බර්ග් පවසනවා. නමුත් පෘථිවියේ සිට ඇති දුර නිසා සුපර්නෝවා පිපුරුමෙන් පෘථිවි ජීවයට කිසිඳු හානිකර තත්ත්වයක් ඇති වන්නේ නැහැ.

Scientific American ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications