යුරොපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් අධිබර ධාරක රොකට්ටුවක් වන Ariane 5 සිය අවසන් මෙහෙයුම සඳහා අද දිනයේ ප්‍රංශ ගයානාවේ සිට දියත් වන්නට නියමිත ව තිබුණා. මෙමඟින් Heinrich-Hertz-satellit සහ Syracuse 4B යන චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමටයි නියමිත ව තිබුණේ. නමුත් කාර්මික දෝෂ කිහිපයක් ගැන සැලකිලිමත් වීමෙන් අනතුරුව එය කල් දමන්නට තීරණය කර තිබෙනවා.
‘Ariane 5 හි තීරණාත්මක කෘත්‍යයක් අවදානමේ හෙළෙන බව හෙළි වීම නිසා Arianespace තීරණය කළා VA261 හි දියත් කිරීම කල් දමන්නට. අලුත් දියත් කෙරුම් දිනයක් තීරණය කිරීම සඳහා අධ්‍යයනයන් ක්‍රියාත්මකයි’ Ariane 5 රොකට්ටුව මෙහෙයවන ප්‍රංශ සමාගමක් වන Arianespace ට්විටර් සටහනක් තබමින් සඳහන් කළා. VA261 යනු මේ මෙහෙයුම සඳහා Arianespace ලබා දී ඇති කේත නාමයයි. ‘ලෝන්චරය (රොකට්ටුව) සහ එමඟින් ඉහළට ගෙන යාමට නියමිත Heinrich-Hertz-satellit සහ Syracuse 4B යන චන්ද්‍රිකා අවසන් අදියරේ එකලස් කිරීමේ ගොඩනැඟිලි තුළ අරක්ෂිත හා සමතුලිත තත්ත්වයන්ගෙන් පවතිනවා.’ Arianespace සඳහන් කර තිබුණේ තවත් ට්විටර් සටහනක් එක් කරමින්.
ඊයේ සන්ධ්‍යාවේ සිදු වූ කරුණු පහදා දීමක් අතරතුර දී Arianespace නියෝජිතයන් සඳහන් කළේ Ariane 5 රොකට්ටුයේ ඝන රොකට් බූස්ටර් ආශ්‍රිත ව පවතින අග්නිමාන තාක්ෂණික සම්ප්‍රේෂණ නාල (pyrotechnical transmission lines) තුනක් කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි. ඉන්ජිනේරුවන් විසින් ගැටලු නිරාකරණය කිරනු ලැබීමෙන් අනතුරුව නව දියත් කෙරුම් දිනය නිවේදනය කිරීමට නියමිත බවයි ඔවුන් සඳහන් කළේ.
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පදනම් කරගත් මෙහෙයුම් විශාල සංඛ්‍යාවක් උඩුගුවන වෙත ඇරලවන්නට දායක වී ඇති Ariane 5 අභ්‍යවකාශ ඉතිහාසයේ එන පුරාවෘතයක් වැනියි. 1996 දී සිය මංගල පියාසැරිය සිදු කළ එය මේ වන විට දායක වී ඇති මෙහෙයුම් සංඛ්‍යාව 100 ඉක්මවනවා. කල් දැමුණු මෙකී මෙහෙයුමින් පසු එය සිය රාජකාරී දිවියට සමු දීමට නියමිතයි.
2004 වසරේ දී ධූමකේතුවක් හඹා ගිය Rosetta මෙහෙයුම, 2021 වසරේ සිදු වූ ජේම්ස් වෙබ් දුරේක්ෂයේ අභ්‍යවකාශගත කිරීම මෙන් ම පසුගිය අප්‍රේල් මාසයේ දී සිදු වූ බ්‍රහස්පති ගවේෂත JUICE යානයේ අභ්‍යවකාශගත කිරීම Ariane 5 මඟින් සිදු වූ සදානුස්මරණීය මෙහෙයුම් අතරින් කිහිපයක්.
Ariane 5 හි අනුගාමිකයා වන්නට නියමිත ව සිටින්නේ Ariane 6 අධිබර ධාරක (heavy lifter) රොකට්ටුවයි. එය තවමත් පසු වන්නේ සංවර්ධන අවධියේයි.
Space.com ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි