අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් සාගර පත්ලේ තිබී හමු වූ බව වෙරළාරක්ෂක කමාන්ඩර්වරයා වශයෙන් කටයුතු කරන රියර් අද්මිරාල් John Mauger විසින් නිල වශයෙන් නිවේදනය කරනු ලැබුණා. සෝදිසි මෙහෙයුම සඳහා එක් වූ Horizon Arctic නෞකාව විසින් දියත් කෙරුණු දුරස්ථ මෙහෙයුම් යානයක් (remotely operated vehicle – ROV) මඟින් ටයිටැනික් නෞකාවේ ඉදිරිපස කොටසට අඩි 1,600 ඈතින් මුහුද පත්ලේ තිබී හමු වූ එම සුන්බුන් කොටස ටයිටන්හි වල්ගා කොටසට අයත් බව හඳුනාගෙන තිබෙනවා. එය සබ්මැරීනයේ පීඩන කුටීරයේ සිදු වූ බිඳවැටීමක් නිසා හටගත් අන්තර් විදාරණයකට (implosion) ගලපා ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.
මේ සොයාගැනීමෙන් අනතුරුව ටයිටන්ගේ බව හඳුනාගත හැකි තවත් විශාල කොටස් පහක් සොයාගන්නට හැකියාව ලැබී තිබෙනවා.
ඊයේ දිනයේ දී ග්‍රහණය කරගත් විනාඩි තිහක විරාම සහිත ව සිදු කෙරුණු යමකට පහර දෙන ස්වරූපයෙන් වූ ශබ්ධ තරංග සිදු වීමට අදාළ බවක් නො පෙනෙන බව ද ඔහු සඳහන් කළා. මෙම ‘ඛේදනීය අන්තර් විදාරණය’ ලක් ව විනාශ වූ අවස්ථාවේ දී සැලකිය යුතු ප්‍රමාණයේ ශබ්ද සංඛ්‍යාවක් අවට සාගර වෙත ඇදී යන්නට ඇති බවත් සෝනාර් බෝයාවන් මඟින් ඒවා ග්‍රහණය කරගන්නට ඇති බවත් ඔහු සඳහන් කළා.
ටයිටන් සංචාරය කළ ටයිටැනික් නෞකාවේ නටඹුන් විසිර ඇති මුහුදු මට්ටමේ සිට අඩි 12,500ක් පමණ ගැඹුරු සාගරයේ තිබෙන්නේ අති විශාල වූ පීඩනයක්. එවැනි පීඩනයක් තුළට පිවිසීමට නම් ඊට ඔරොත්තු දිය හැකි පිරිදි ඇතුළත පීඩනය වායුගෝලීය පීඩනයට සම කළ ‘පීඩන කුටීරයක්’ අවශ්‍ය වනවා. එය දුර්වල වූ විට පිටත පීඩනය ඇතුළතට කඩා වදිනවා. එවිට ව්‍යුහය පුපුරා යන්නේ ඇතුළතටයි. ටයිටන් තනා තිබුණේ එම සුවිශාල වූ පීඩනය දරාගත හැකි අයුරින් වුවත් යම් හෙයකින් එය පළුදු වී ගියහොත් සියල්ල අවසන් වනවා. දැනට තහවුරු කරගෙන ඇති පරිදි සිදු ව ඇත්තේ එයයි.
රියර් අද්මිරාල්වරයා තවදුරටත් සඳහන් කළේ අනතුරින් මියගිය මඟීන්ගේ පවුලේ අයට වහා ම මේ පිළිබඳ දැනුම් දුන් බවයි. ඔහු සිය සාතිශය සංවේගය ද ප්‍රකාශ කර සිටියා. මෙහි දී මාධ්‍යවේදීන් අනතුරට පත් අයගේ සිරුරු රැගෙන ඒ පිළිබඳ විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ ‘මෙය අතිශය කර්කශ පරිසරයක්’ යන්නයි. සිරුරු ගොඩ ගැනීමක් ගැන බලාපොරෙත්තු තබාගත හැකි බවක් ඉන් ඇඟවෙන්නේ නැහැ.
ටයිටන් අයත් OceanGate සමාගම ද මඟීන් සියලු දෙනා වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශ කරමින් තරමක් දිගු නිවේදනයක් නිකුත් කෙරුණා. ‘අප මේ වන විට විශ්වාස කරනවා අපගේ ප්‍රධාන විධායක නිලධාරී Stockton Rush, Shahzada Dawood සහ ඔහුගේ පුත් Suleman Dawood, Hamish Harding, මෙන් ම Paul-Henri Nargeolet කනගාටුදායක ලෙස මියගොස් ඇති බව’ නිවේදනය ආරම්භයේ සඳහන්.
සත්‍ය හෙට්ටිආරච්චි