Home Science News අඳුරු පදාර්ථවල උදව්වෙන් දුලබ තාරකාවක් සොයාගැනෙයි

අඳුරු පදාර්ථවල උදව්වෙන් දුලබ තාරකාවක් සොයාගැනෙයි

by Sathya

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබාගත් ඡායාරූප අධ්‍යයනය කිරීම මඟින් මෙතෙක් හඳුනා නො ගත් තාරකාවන් නිරීක්ෂණය කිරීමට ස්පාංඥයේ ජාතික පර්යේෂණ කවුන්සලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත් වී තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එම සොයාගැනීම අඳුරු පදාර්ථ පිළිබඳ අප සතු දැනුම පුළුල් කරන බවයි.

පර්යේෂකයන් විසින් මොත්‍රා (Mothra) ලෙස නම් කර ඇති මේ තාරකාව අතිවිශාල වනවා මෙන් ම අසාමාන්‍ය දීප්තිමත් ස්වභාවයකින් ද යුතු වනවා. එය සතු දීප්තිය අසාමාන්‍ය වන්නේ එය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ බිලියන 10.4ක එපිටින් වීමයි. ඒ සමගින් ගොඩ්සිලා ලෙස නම් කළ තවත් ඒ හා සමාන තාරකාවක් ද නිරීක්ෂණය කරන්නට ඔවුන් සමත් වුණා. අහසේ දැනට හඳුනාගෙන ඇති දීප්තිමත් ම තාරකාව වන්නේ ගොඩ්සිලායි.

මොත්‍රා ලෙස හැඳින්වූවත් එය නිල වශයෙන් හැඳින්වෙන්නේ EMO J041608.8 – 240358 ලෙසයි. ජේම්ස් වෙබ්ගේ නෙතට මෙම තාරකාව හසු වී තිබුණේ දුරින් පිහිටා තිබූ මන්දකිණියක් ඡායාරූපගක කිරීමේ දී යි. කෙතරම් බලසම්පන්න වුවත් ජේම්ස් වෙබ් දුරේක්ෂයට පවා ඉතා දුර සීමාවන්ගේ පිහිටි තනි තනි තාරකා හසු කර ගැනීමේ දී අර්බුදයන්ට මුහුණපාන්නට සිදු වනවා. කෙසේ නමුත් වාසනාවකට මෙන් මෙකී තාරකා ද්විත්වය පිහිටි ප්‍රදේශය ගුරුත්ව කාචයක් හේතුවෙන් විශාලනය වී තිබුණා.

ගුරුත්ව කාචයක් ඇති වන්නේ මන්දාකිනියක් හෝ මන්දාකිණි පොකුරක් වැනි ස්කන්ධයෙන් අතිශය ඉහළ වස්තුවක් වටා කාලාවකාශයේ සිදුවන නැම්ම හේතුවෙන්. මෙවැනි අවස්ථාවක් පසු කර යන ආලෝකය විකෘතීන්ට, ගුණනයට මෙන් ම විශාලනයට ලක් වනවා. අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ ද දැක්වෙන් මේ සංසිද්ධියේ පිහිටෙන් ඇතැම් අවස්ථාවල දී ඈතින් ඇති නිරීක්ෂණයට අපහසු ග්‍රහ වස්තූන් ග්‍රහණය කරගැනීමට හැකියාව ලැබෙනවා. මොත්‍රා දකින්නට හැකියාව ලැබුණේ ද මේ නිසයි.

විශ්ලේෂණයකින් අනතුරුව මොත්‍රා රතු සුපිරි යෝධ තාරකාවකින් සහ නිල් යෝධ තාරකාවකින් සැදුම් ලත් ද්විත්ව පද්ධතියක් බව පර්යේෂකයන් උපකල්පනය කරනවා. නමුත් ඔවුන් පවසන්නේ ගණනය කිරීම්වලට අනුව එහි අසාමාන්‍ය විශාලනයට හේතුව එයත් අපත් අතරමැද පිහිටි ගුරුත්ව කාචය පමණක් නොවන බවයි. පර්ය‌ේෂණ කණ්ඩායම මෙහෙයවූ තාරකා භෞතිකවිද්‍යාඥ José Diego පවසන පරිදි එය ජේම්ස් වෙබ් දැක තිබෙන්නේ පමණට වඩා 4000 ගුණයක විශාලනයකින් යුතුවයි. තාරකාවට ආසන්නයෙන් පිහිටන කුමක් හෝ යමක් ඊට අමතර විශාලන බලයක් එක් කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නමුත් එවැනි අධි ස්කන්ධ වස්තුවක් නිරීක්ෂණය වී නැහැ. ඊට ඔවුන් සතු පැහැදිලි කිරීම වන්නේ ඒ අසල අඳුරු පදාර්ථවලින් ම නිර්මිත තරු හෝ මන්දාකිණි පොකුරක් පවතී ය යන්නයි. ඔවුන්ගේ තක්සේරුවට අනුව එය හිරු මෙන් 10,000 ගුණයක සිට මිලියන 2.5 ගුණයක් දක්වා විහිදෙන ස්කන්ධයකින් යුතු විය හැකියි.

ඔවුන් සිය අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ ගුරුත්ව කාච ඇති පෙදෙස් ගැන අවධානය යොමු කිරීමෙන් අඳුරු පදාර්ථවලින් නිර්මිත ව්‍යුහ සොයාගැනීම පහසු කරනු ඇති බවයි.

Science News ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications